Jan
05
බය නැතිව ගිහින් එන්න-බල පෙරළිය ගැන මහින්දගෙන් අගමැතිට පිළිතුරු

නව වසරේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් නෙලුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
වත්මන් ආණ්ඩුව පෙරළා දමන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශගතව සිටියදී නොව රට තුළ රැඳී සිටියදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.
තමන් ලබන සතියේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වන බැවින් හැකි නම් එම කාලසීමාවේදී ආණ්ඩුව පෙරළා දමන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී “එතුමාට රට ගිහින් බය නැතිව එන්න පුළුවන්. අපි පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙ නැහැ. එතුමා ඉන්න වෙලාවෙදිම තමයි පෙරළිය ඇති වෙන්නේ. බලාගෙන ඉන්නකෝ..” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගලදී ඊයේ මුල්ගල් තැබූ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කර තිබේ.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසුවේ “මේක වොක්ස්වැගන්ද කියලා විශ්වාසයක් නැහැ. හැබැයි වටිනා ඉඩමක්. විශ්වෙවිද්‍යාලයක් වෙනුවෙන් වෙන් කරලා තිබ්බෙ. දැන් ඒක කොම්පැනියකට දුන්නා. මේකෙ එක කාර් එකක් පිටරට යවාගන්න බැරිවෙනවා. අන්තිමට වෙන්නේ.. කබල් කාර් හදලා ලංකාවේ මිනිස්සුන්ට දෙන එක. හදන්නෙත් නැහැ.. එකලස් කරයි. කෑලි එකතු කරලා ඒ වගේ වැඩ කරන ෆැක්ට්‍රි ගොඩක් තියෙනවා ලංකාවේ.” යනුවෙනි.
එමෙන්ම මේ වසරේදී නව පක්ෂය සමගින් නව ගමනක් යාමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේම මෙම ආණ්ඩුව පෙරලෙන බවයි.
තමන් විසින් සංවර්ධනය කළ හා ගොඩනැගූ ස්ථානයන් රටේ ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමටත් අගමැතිවරයා විසින් විකිණීමටත් කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම තමන් රට සංවර්ධනය කළේ කිසියම් සැලැස්මකට බවත්, ඒ හේතුවෙන් රට සංවර්ධනය කිරීමට ණය ලබා ගැනීම හා එම ණය ගෙවීමට ශක්තියක් තිබූ බව පැවසූ ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට එලෙස කිරීමේ ශක්තියක් නොමැති බවයි.
එමෙන්ම හම්බන්තොට වරාය විකිණීමට විරෝධය පළ කිරීම චීනයට විරුද්ධවීමක් නොවන බව පැවසූ එතුමා කියා සිටියේ මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිවීමක් බවයි.