Dec
10
අද දකුණු අප්‍රිකාවට පියාසර කරන්න කළින් මැතිව්ස් කිව්ව කතාව

2011/2012 වසරේදී ශ්‍රී ලංකා පිල තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේ ටෙස්‌ට් තරගාවලියකට අවසන් වරට සහභාගි වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා 2-1 ක් ලෙස තරගාවලිය පරාජයට පත්විය. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව ලද එකම ටෙස්‌ට් ජයද එය වේ.
දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට් තරග තුනකට මුහුණ දෙන ශ්‍රී ලංකා පිල එම තරගාවලිය ජය ගතහොත් ටෙස්‌ට් ශ්‍රේණියේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණෙන අතර මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 ක් සමග අදාළ ශ්‍රේණියේ 07 වැනි ස්‌ථානයේ පසුවේ. දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 102 ක් සමග ටෙස්‌ට් ශ්‍රේණියේ 05 වැනි ස්‌ථානයට පත්ව සිටියි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පසුගිය මාස තුනක කාලයේදී ශ්‍රී ලංකාවේදී ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට එරෙහිව ටෙස්‌ට් තරගාවලියේදී 3-0 කින් පරාජය කර දැමූ අතර සිම්බාබ්වේදී 2-0 කින් ටෙස්‌ට් තරගාවලිය ජයගෙන පිට පිටම ටෙස්‌ට් තරග පහක් ජය ලබා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තණතීරුවලට වඩා හාත්පසින්ම වෙනස් තණතීරුවලදී දකුණු අප්‍රිකානුවන්ව දමනය කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇති දැවැන්තම අභියෝගය බවට පත්ව තිබේ.
පිතිකරුවන් අටදෙනකු ශ්‍රී ලංකා ටෙස්‌ට් සංචිතයට කැඳවා ඇති අතර එහිදී කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, උපුල් තරංග සහ කුසල් පෙරේරා ඇතුළත් කර තිබේ. එහෙත් තරගයකදී ශ්‍රී ලංකා සංයුතිය වේග පන්දු යවන්නන් සිව්දෙනකු සහ එක් දග පන්දු යවන්නකුගෙන් සමන්විත වීමට වැඩි අවස්‌ථාවක් තිබේ. වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, විකුම් සංජය බණ්‌ඩාර සහ ළහිරු ගමගේ ක්‍රීඩා කරනු ලබයි. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා කණ්‌ඩායමට එක්‌කර තිබේ.
”අපේ තණතීරුවලට වඩා දකුණු අප්‍රිකාවේ තණතීරු වෙනස්. එංගලන්තය, නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකානු තණතීරු ටිකක් එක සමානයි. එහිදී ඉපිලීමක් සහ වේගයක් දකින්න පුලුවන්. දකුණු අප්‍රිකාව මේ කාලයේ හොඳට ක්‍රීඩා කරනවා. නමුත් ඒ ගැන අපි වැඩිය හිතන්නෙ නැහැ. තරගාවලිය හොඳට ක්‍රීඩා කරන්න තමයි අපේ අරමුණ” යෑයි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමග ටෙස්‌ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ලබන 18 වැනිදා දකුණු අප්‍රිකානු ආරාධිත කණ්‌ඩායමක් සමග තෙදින තරගයකට පොට්‌ච්µස්‌ට්‌රූම්හි සහභාගිවේ. අනතුරුව පළමු ටෙස්‌ට් තරගය ලබන 26 වැනිදා පෝට් එලිසබෙත්හිදීත් දෙවැන්න කේප්ටවුන්හිදී සහ තෙවැන්න ජොහැන්ස්‌බර්ග්හිදී පැවැත්වේ.
ටෙස්‌ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරග තුනකට සහ එක්‌දින තරග පහකටද සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අවසන් වන්නේ ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන එක්‌දින තරගයෙන් අනතුරුව වේ.