May 23

ඇමෙරිකාවේ කායවර්ධන තරගවලින් ශූරතා දිනූ අපේ කෙල්ල

පෙනුමින් බටහිර පන්නයේය. බැලූ බැල්මට ඇය වෙතින් දිස්වන්නේ සියුමැලි තරුණියකගේ පෙනුම ඉක්මවා යන පෞරුෂයකි. ඇය මා ඉදිරියේ ඇති සුව පහසු අසුනේ සිටී. ඇගේ අක්බඹරු කෙස් රොද නළල් තලයේ දඟකරනුයේ ඇගේ පෞරුෂය සමග මතුවී පෙනෙන අයෝමය පෙනුමට ස්ත්‍රී ලාලිත්‍ය මුසු කරමිනි.


ඇය මෙහි පැමිණියේ මීට සති කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටය.
ඈ නමින් දිල්රුක්ෂි සොලමන් ආරච්චිය.

දිල්රුක්ෂි මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රධාන කායවර්ධන තරගාවලි තුනකම විවිධ ශූරතා දිනා සිටින්නීය. මෙය ලංකාවට ආධුනික නමුත් ලොව බොහෝ රටවල කායවර්ධන අංශයේ කාන්තා නියෝජනයන් දැකිය හැකිය. බටහිර රටවල මේ සඳහා පිළිගත් තරගාවලින් රැසක් පවතී.

දිල්රුක්ෂි 2003 වසරේ ඇගේ නැගණිය ද සමග මෙරටින් ඇමෙරිකාව බලායන්නේ වැඩිදුර අධ්‍යාපනයටය. එහිදී ඇය ස්වයංව කායවර්ධනය පිළිබඳව හැදෑරීම කරගන යන්නේ හුදු විනෝදාංශයක් ලෙසය. පසුව ඇයට ලැබෙන ආරාධනයකට අනුව ඇය කාන්තා කායවර්ධන අංශයේ තරගාවලි සඳහා ඉදිරිපත් වීමට කටයුතු කරන්නීය.

ඇගේ කතාව හොඳින් කියන්නට දන්නී ඈය.

“මගේ පදිංචිය කිරිබත්ගොඩ. අපේ පවුලෙ හය දෙනෙක්. මම දෙවැනියා. මම උසස් පෙළ හදාරන්න ගියේ ගම්පහ සිද්ධාර්ථ මහ විද්‍යාලයට. හැබැයි එහෙදී ක්‍රීඩා අංශයට ඒ තරම් උනන්දු නොවුණට පසුව ඒ පැත්තට උනන්දු වුණේ අයියගෙ පසුබිමත් එක්ක. අයියට කායවර්ධන පුහුණු ආයතනයක් තිබුණා. ඒකෙ ලබපු පුහුණුව මම ඇමෙරිකාවේදිත් දිගටම පවත්වාගෙන ගියා. ගිය අවුරුද්දෙ එහෙ තිබුණා ව්ඛි හරිකේන්බේ චැම්පියන් ෂිප්-2016 කියලා කායවර්ධන තරගාවලියක්. මම ඒ තරගාවලියට ඉදිරිපත්වෙලා පදක්කම් 3ක් හිමිකරගත්තා. මේකට තරගකාරියන් 150 විතර ඉදිරිපත් වුණා.”

දිල්රුක්ෂි NPC Lee banks Natural Championships 2017 තරගාවලියේදී බිකිනි (Bikini) සමස්ත අංශයේ ජය සහ Class A අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තාය. Masters over 35 අංශයේ ප්‍රථම ස්ථානයද එහිදී ඇය දිනාගැනීම කැපී පෙනේ.

“National Body Building Championship තරගාවලියට ඉදිරිපත්වෙලා මම ප්‍රථම ස්ථානයත් හිමිකරගත්තා. ඒක හරිම වැදගත් වෙන්නේ කිසිම උත්තේජකයක් ලබාගන්න බැහැ. එහිදී පළවෙනියා වෙන්න කාණ්ඩ හතරක් දිනන්න ඕනෑ.”

ඇයට පුහුණුකරුවකු පවා නොමැතිව විදේශීය රටක නුහුරු අංශයක තරගාවලියක් ජයගැනීම පහසු කටයුත්තක් නොවේ. ඊටත් වඩා ඇය ශ්‍රී ලාංකීය සමාජ පරිසරය තුළ හැදී වැඩී එවැනි තරගාවලියකට ඉදිරිපත්වීම සඳහා මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීමද පහසු නැත. ඒ සියල්ල ජයගැනීමට ඇය හුරුවූයේ කෙසේදැයි මම විමසීමි.

“මම ඇමෙරිකාවට ගියේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. ඒ අතරතුර මම විනෝදාංශයක් ලෙසයි මේ කටයුත්තට ඉදිරිපත් වුණේ. මුල් දවස්වල මගෙ ෆේස්බුක් එකේ මේ පින්තූර දැක්කම පිරිමියෙක් වෙන්න හදන්නෙ ඇයි කියලා සමහර අය කොමෙන්ට්ස් දාලා තිබුණා. මම ඒවායින් පසුබැසීමට ලක්වුණේ නෑ. මම අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට ගිහින් ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියාවක් කරනවා. ඒ වගේම විවාහ ජීවිතයේ වගකීම් මම නොපිරිහෙළා කරනවා. මට අවුරුදු තුනක බබෙක් ඉන්නවා. ඒ සියල්ලත් සමග ශක්තිමත් කාන්තාවක් කියන එක මගේ කටයුතුවලට පහසුවක්.”

ඇය ලංකාවේ සිටියා නම් බොහෝ විට සාම්ප්‍රදායික තරුණියක ලෙස රැකියාව, විවාහය යන අන්තරය තුළ දෝලනය වන තවත් තරුණියක වන්නට ද ඉඩ තිබිණි. එහෙත් ජීවත්වීම යනු තමන්ගේ කැමැත්ත අනුන්ගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කර මුළුගැන්වීම නොවේ යැයි දිල්රුක්ෂි අපට කියා දෙන්නීය.

“මම නං ලංකාවෙ තරුණියන්ට කියන්නේ කොයි වෙලාවකවත් තමන් කැමැති දෙයක් කරන්න යද්දී අනිත් අයගෙ මත නිසා වෙනස් කරගන්න එපා කියලා”

දිල්රුක්ෂි ඇමෙරිකාවේ වාසය කළ ද හදවතින් තවමත් ශ්‍රී ලාංකිකය. ඇයගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂණයේ තරගාවලියට ඉදිරිපත්වීමය. ඇය මේ වනවිට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන සිටී.

“මට මේ තරගාවලි ජයගැනීමෙන් පස්සේ ලංකාව නියෝජනය කරමින් ඉදිරියට යන්න ඕනැ වුණේ. ගිය අවුරුද්දෙ ලංකාවේ කායවර්ධන සංගමයේ නිලධාරියෙක් මට ලංකාවට ආරාධනා කළා. ක්‍රිස්ටීන් කියන කාන්තාව තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කළේ. මගෙ බබාට අවුරුදු තුනක් වගේ. එයත් අරගෙන අතින් වියදම් කරගෙන ලංකාවට ආවම එයා මග ඇරියා. මම ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැහෙන්න අවස්ථාවක් අරන් දෙන්න කිව්වාම හා කියලා ඒකත් මග ඇරියා. කොහොම හරි ලක්ෂ 15ක් විතර මම අතින් වියදම් කරගෙන ඇවිත් ආපහු ගියා.”

ඒ ලංකාවේ තත්ත්වයයි. එය දිල්රුක්ෂිට පමණක් සීමා වූවක් නොවේ.

ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක ලැග සිටින නිලධාරී බහිරවයෝ ඒවා තමන්ගේ පරවේණි උරුමයන් බවට පත්කරගෙන සිටිති. එනිසාම රටට බොහෝ සම්පත් අහිමි වූ අවස්ථා හිඟ නැත. ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව දැන සිටින්නට නැත. තවමත් දිල්රුක්ෂිගෙන් රටට ගෞරවයක් හා සේවයක් ලබාගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් නැත. ඇය ඊට එක සිතින්ම සූදානම්ය.

දිල්රුක්ෂි අමෙරිකාවේ ප්‍රමුඛ පෙළ කායවර්ධන තරගාවලි තුනකින් ජයග්‍රහණ අත්පත්කරගන්නේ පුහුණුකරුවකුගේ හෝ සහාය ලබානොගෙනය. ඔබ මේ විද්‍යාත්මක ක්‍රමවේද හදාරන්නේ කෙසේදැයි මම ඇගෙන් විමසීමි.

“මම ‍පොත්පත් ලබාගෙන මේ පිළිබඳ තාක්ෂණික කරුණු අධ්‍යයනය කරනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ මේ කටයුතු කරන මිතුරියන්ගෙන් ද උපදෙස් ලබාගන්නවා. ඒ තුළින් මට ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසයක් තිබෙනවා.”

දිල්රුක්ෂි තම කාර්යය පිළිබඳව පසුවන්නේ දැඩි විශ්වාසයකිනි. ඇය මේ පිළිබඳ ලංකාවේ තුළ උනන්දුවක් ඇති වනු දැකීමට කැමතියි.

“මේ කටයුත්තට ලංකාවේ රජයේ සහයෝගය ලැබෙනවා නම් ඇත්තටම ඇවිත් උගන්වන්න මම කැමතියි” ඒ වගේම ඒ පිළිබඳ දඵබඥපඨපචථඥ එකෙනුත් මාව සම්බන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් ගන්න හැකියාව තිබෙනවා. රටට ගෞරවයක් ගෙනෙන ක්‍රීඩිකාවක පිළිබඳව ක්‍රීඩා බලධාරීන් දැන් හෝ අවදිවී කටයුතු කරන්නේ නම් යහපත්ය. ගෞරවය හිමිවිය යුත්තේ පුද්ගල කේන්ද්‍රීයව නොව රටක් ලෙසය. රටට ගෞරවයක් වන විට පුද්ගලයින්ට එම ගෞරවය නිතැතින් හිමිවෙයි. දැන් සිදුවන්නේ තක්කඩි නිලධාරීන් ගෞරවය යනු තමන් යැයි සිතමින් අතීත නාමයේ ගිලී සිටීමය. දිල්රුක්ෂිට ද එම හැන්දෙන් නොබෙදිය යුතුය.

අශෝක වීරසිංහ
මුලාශ්‍ර - රිවිර පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.