Apr 28

පක්‍ෂය දෙකඩ කලා මහින්ද සියලූ රහස් හෙලි කරයි

මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්
මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම’ මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයකි මේ.


2017 අ‌ප්‍රේල්  27

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම

2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රිලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්ථාවේදී උත්සාහයක් නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රිලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක් මුළුල්ලේ ශ්‍රිලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13ක් මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක් නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යැයි අප අතර ප්‍ර‍බල මතයක් තිබුණද, ශ්‍රිලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කලේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රිලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතල සැක නොතිබුණා නොවේ.

ශ්‍රිලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43ක් පමණක් තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්මක් තිබුණි. ශ්‍රිලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස් වනු ඇතයි පක්‍ෂ සාමාජියන් බලාපොරොත්තු වුණත්, එවැන්නක් සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්ඩුව පවත්වාගෙන යාමයි. එපමනක්ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක් අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක් තුළ වුවත්, 2015 අගෝස්තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රිලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක් ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රිලනිප නායකයා එජාපයේ ග්‍ර‍හණයෙන් ගලවා ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක්ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ළකුණු පහල වෙමින් පැවති අවස්ථාවේදී ශ්‍රිලනිප නායකයා කටයුතු කල ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතල අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක් තිබියදී එජනිසය ඡන්දයෙන් දිණුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක් ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රිලනිපය දිනුවත් ඔහු ජයග්‍ර‍ණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍ර‍ණය නැවැත්වීමට නොහැකි වේ යැයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48ක් තිබියදී ශ්‍රිලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රිලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රිලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රිලනිප නායකත්වය කලේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියළුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය. ඔවුන් සියළුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස් ගණනක් ශ්‍රිලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කණගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රිලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක් තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක් මුළුලුල්ලේ සිදු වී ඇත. ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රිලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රිලනිපය ශක්තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්ඩුවට මුක්කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍ර‍සන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී.හේරත්, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රිලනිපයේ ස්ප්‍රිත්තුව, ආසන සංවිධායකකම් වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රිලනිපයටද නැතිනනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවන්ගත පියා ටී.බී.තෙන්නකෝන් ශ්‍රිලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය.  ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රිලනිපයටත් රටටත් කල සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රිලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රිලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස් අලහප්පෙරුම, ජනක වක්කුඹුර හා  රෝහණ දිසානායක ස්වේච්චාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක් නොසිතා තමාට තිබුණු පලාත් ඇමති ධූරයෙනුත් ඉල්ලා අස්විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ සමපූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්තිමත් වෙන්නේ ශ්‍රිලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජණවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රිලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්විය නොහැක.

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්ඩුව ශක්තිමත් කිරීමට යෑමෙන් පසුත් ආණ්ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රිලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්ඩුව ඡන්ද කල් දමමින් සිටන්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක් තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව ‍මේ ආණ්ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහදී නැවතත් ප්‍රකාශ කර සිටමි. ශ්‍රිලනිපය එජාපයේ වලිගයක් බවට පත් කිරීමට විරුද්ධ සියළුම ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්ඩුවේ ජාතිද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැලියට සහභාගී වී මේ ආණ්ඩුවට ප්‍ර‍බල පණිවුඩයක් යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.