Apr 14

සුබ නව වසරක් වේවා !!! අලුත් අවුරුදු පලාපල මෙන්න

මේෂ

ආදායම් මාර්ග ඉහළට

මෙම නව වසර ඔබට මිශ්‍රඵල ගෙන දෙයි. ආර්ථික වර්ධනයක් ඇති වුවද සතුරු බාධක වරින්වර මතු වීමෙන් සිත් තැවුල් වැඩි කරයි. හිතවත් අයෙකු සමඟ අමනාප වීමකට ඉඩ යෙදේ.

ධනය

ඉඩම් ලාබ හා ලැබෙන ආදායම් මාර්ග වැඩිදියුණු වෙයි. ව්‍යාපාරිකයන්ට නව නිෂ්පාදන එළිදැක්වීමට අවස්ථා උදා වෙයි. වෙළහෙළඳාම් කටයුතුවල යෙදෙන අයට අතමිට සරු වන කාලයක් වෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පවතින උනන්දුව වැඩි කරයි. එහෙත් ප්‍රමාද වීම් හෝ කල් තැබීම්වලට ඉඩ ඇත. අගෝස්තු 18න් පසු නව ප්‍රබෝධයක් ගෙන දෙයි.

නව අධ්‍යාපන පාඨමාලා කෙරෙහි විශේෂ ඇල්මක් දක්වයි. ගණකාධිකරණ ඉංජිනේරු මාධ්‍ය ආදිය සඳහා උනන්දු දක්වන අයට විශේෂ වරප්‍රසාද හිමි වෙයි.

ගෘහ ජීවිතය

දේපළ පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇති වෙයි. තම නිවාස නවීකරණයට යොමු කිරීමෙන් හා දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා වෙහෙස වීමෙන් සිතට සහන සැලැසෙන කාලයක් වෙයි.

ඉඩමක් මිලයට ගෙන වගා කටයුත්තකට යොමු වීමෙන් නව ආදායම් මාර්ගයකට මඟ සැලැසෙයි. කෘෂි කර්මාන්ත හා මැණික් කර්මාන්ත මඟින් සහන රැසක් ගොඩ නැ‍ඟේ.

විවාහය

අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. හිතුමතේ ගන්නා තීරණ ගැන පසුතැවීමට සිදුවන හෙයින් බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුය. යෝජිත පදනම් මත කැරෙන විවාහයට ඉඩ යෙදේ.

ජය අංකය - 4

සුබ දවස - ඉරිදා


වෘෂභ

හිතවතුන්ගේ සහාය

මිශ්‍ර ඵල ගෙන දෙයි. සැප්තැම්බර් මස 12 වැනිදා පීඩන තත්ත්වයෙන් මිදෙන ගුරු - සිකුරු හිමි තුළ රාශිගත වීම වෘෂභ හිමියන්ට සුබ පල උදා කරයි.

ධනය

මුදල් ලැබීම අතින් යහපත්ය. හිතවත් අයගේ සහයෝගය ලැබේ. නව ආර්ථික රටාවක් ගොඩනැඟීම සඳහා හිතවත් ධනවත් අයෙකුගේ සහයෝගය මැයි මස 17න් පසු ඇති වෙයි. නිෂ්පාදන අංශ, සංචාරක ආදි අංශ ප්‍රසිද්ධියට පත් වෙයි. විදේශයේ සිටින අයෙකුගේ සහයෝගය සැප්තැම්බර් මාසයෙන් පසු උදා කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනය සඳහා ඉතා සුබදායක වසරකි. තාක්ෂණික හා විද්‍යා අංශවලට යොමුවන අයට ශිෂ්‍යත්ව ලාබ හිමි වෙයි. විවිධ භාෂා පිළිබඳ විශේෂතා හිමි වෙයි. ලේඛන කලාව ග්‍රන්ථකරණය ජනමාධ්‍යය යන විෂයයන් හදාරන්නන්ට ප්‍රසිද්ධියේ කැරෙන වැඩ කොටස්වලට සහභාගි වීමේ අවස්ථා සැලැසේ.

ගෘහ ජීවිතය

අලංකාරය සඳහා වැඩිපුර හිත වෙහෙසවන ගති මතු කරයි. නව ගෘහ භාණ්ඩ මිලයට ගැනීමෙන් පවුලේ අය සතුටු කිරීමට පෙලඹෙන වසරකි. අන් අයගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට දරන උත්සාහය සාර්ථක වේ. අසල්වැසියන්ගේ සහයෝගය ලැබේ.

විවාහය

විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට සිතුවිලි මුදුන්පත් කරගත හැකිය. පෙම් සබඳතා ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු ඇතිව සිටින අය ඉතා සැලකිලිමත් විය යුතුය. ආදර කතා හා ක්ෂණික හිතවත්කම් ගොඩනඟා ගැනීමට අවකාශ ලැබෙන අතර ඔවුන් පිළිබඳ විමසිලිමත් වී කටයුතුවල යෙදීම වැදගත් වෙයි.

ජය අංකය - 6

සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන

ක්‍රීඩා තරග ජය

මේ වසර සුබ අසුබ මිශ්‍රඵල දෙන වසරකි.

ධනය

මේ වසර මුල් භාගයේ ඔබට ආර්ථික ගැටලු මතු කැරෙන අතර ණය වීම් ආදියට මැදිහත් වීමට සිදු වෙයි. කරගෙන යන ව්‍යාපාර හා සේවක ප්‍රශ්න නිසා තරමක අඩපණ වන කාලයක් අගෝස්තු දක්වා පවතී. ඉන්පසු ක්‍රමයෙන් සහන ගෙන දෙයි. සැප්තැම්බර් 12 සිට ඔක්තෝබර් 26 අතර හිතවත් සහයෝග තුළින් ව්‍යාපාර නවීකරණයකට ඉඩ යෙදේ.

අධ්‍යාපන

ඔබේ අධ්‍යාපන කටයුතුවල තරමක පසුබෑමක් ඇති වෙයි. තරග විභාගවලදී මහත් උත්සාහයක් ඇති වීමෙන් සහනදායක තත්ත්ව ඇතිකර ගත හැකිය. බොහෝ දුරට ග්‍රහ තත්ත්වයේ පවතින උදාසීනතාව තදින් බලපාන බව පෙන්වයි.

සැප්තැම්බර් 12න් පසු කාලය සුබදායක වෙයි. කලා අංශවලට යොමුවන අයට හා ක්‍රීඩා හා තරග ආදියෙන් උසස් ජයක් හිමිකර ගැනීමට හැකි වෙයි.

ගෘහ ජීවිතය

දේපළ පිළිබඳ පැවැති ගැටලුකාරි තත්ත්වයක් නිරාකරණය කරගත හැකි වෙයි. ඉඩමක් විකුණා ගැනීමට කරන උත්සාහය ප්‍රමාදයට පත්වී මැයි 15න් පසු සාර්ථක කරගත හැකිය. වරින්වර මතුවෙන රැකියා ප්‍රශ්න නිසා හිතට අසහන වැඩි කරයි.

විවාහය

කලක සිට පැවැති පෙම් සබඳතාවකට වැඩිහිටි බාධා යෙදෙන කාලයකි. යෝජිත විවාහයකට අවකාශ යෙදේ. තම රුචිය පරිදි තීරණවලට බැසීම මෙම වසර තුළ සිදු නොවෙයි. එය බොහෝ දුරට රැකියාව සඳහා යෙදෙන ප්‍රශ්න මෙන්ම හදිසියේ යෙදෙන දුර ගමන් එයට හේතු වෙයි.

ජය අංකය - 4

සුබ දවස - බදාදා


කටක

සිතේ ප්‍රසාද සිතිවිලි

සියලු සම්පත් දෙන යහපත් වසරක් වෙයි.

ධනය

ඉඩම් අලෙවිය සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙන්නන්ට සරු වෙයි. අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන අයට, විද්‍යා අංශ වැඩවල හා පුරාවිද්‍යා අංශවල සේවකයන්ට යහපත් කාලයක් වෙයි. නාවික හා ධීවර කර්මාන්තවල යෙදෙන්නන්ට දේශගුණ විපර්යාස තුළින් වරින්වර දෙන බාධක වැඩි කරයි.

අධ්‍යාපන

උසස් ඉගෙනීමේ කටයුතු සඳහා විදේශගත වීම්වලට යෙදෙන අයට අදහස් සපල කර ගැනීමට අගෝස්තු 18න් පසු හැකි වෙයි. තරග විභාග ආදියෙන් විශිෂ්ට ජය හිමි වන වසරකි.

තාක්ෂණික අංශ වෛද්‍ය හා කෘෂිකර්ම විෂයන් හදාරන අයට අමතර ආදායම් හිමි කරන වැඩවලට සහභාගි වීමේ අවස්ථාව සැලැසේ.

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතු සතුටුදායක වෙයි. සිතේ ප්‍රසාද සිතුවිලි ඇති වෙයි. විනෝද සංචාරවල යෙදීමට අවස්ථා සැලැසේ. රැකියා අහිමි වූ අයට රජයේ සහන සහිත විශේෂ රැකියා සඳහා කැඳවීම් ලැබේ. තමාටම හිමි ඉඩමක් හෝ නි‍ෙවසක් ලබා ගැනීමට කරන උත්සාහය ඇදි යන අතර ඔක්තෝබර් 26න් පසු හිතවත් අයෙකුගේ විශේෂ අවධානයට හේතු වෙයි.

විවාහය

විවාහය පිළිබඳ බලාපොරොත්තු තබා සිටින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ශනි ග්‍රහයා 06 වැන්නේ වීම ප්‍රමාද දෝෂවලට හේතු වෙයි. විවාහක අයට දරු පල වාසනා ගෙන දෙයි. සහකරුට හෝ සහකාරියගේ සහෝදරයකුට සිදුවන අපලයන් නිසා වියදමක් දරන්නට සිදු වෙයි.

ජය අංකය - 3

සුබ දවස - සිකුරාදා


සිංහ

ප්‍රභූන්ගෙන් ගෞරව

ආගමික කටයුතු සඳහා විශේෂ අවධානය යොමු වීමෙන් එවැනි ස්ථානවල ප්‍රධාන තැන් හිමිකර ගැනීමේ අවස්ථා උදා වෙයි.

ධනය

පොළොවෙන් ලබන ධන භාග්‍ය ඵල වාසනාව ගෙන දෙයි. මුතු මැණික් අලෙවි කරන්නන්ට විශාල වාසි සැලැසේ. රජ්‍ය මහා පරිමාණ ව්‍යාපෘතිවලට සම්බන්ධව සේවාවල සිටින අයට හා කෘෂි කර්මාන්තවල නිරත අයට වසර අගභාගය යහපත් වෙයි. ප්‍රභුන් අතර ආදර ගෞරව හිමිකර ගැනීමේ දක්ෂතා වසර පුරා ගෙන දෙයි.

අධ්‍යාපනය

මුල් කාලය තරමක් පොතපතට උදාසීන තත්ත්ව ගෙන දෙයි. එහෙත් විභාග තරගවලට සුදුසුකම් ලබන අතර ඒවායින් සම්මාන ලාබ හිමිකර ගත හැකි වෙයි. විද්‍යා හා ගණිත පිළිබඳ විෂයන් වර්ධනය සඳහා ඒ පිළිබඳ විශේෂත්ව දක්වන ගුරු ඇසුරු තුළින් හිමි කර ගත හැකි ය.

ගෘහ ජීවිතය

සතුටුදායක තත්ත්වයක් මතු වේ. මේ වසරේ වරින්වර පිටස්තර ස්ථානවල වාසය කිරීමට අවස්ථාව උදා වෙයි. තීරණ ගැනීමේදී එඩිතරව කටයුතු කිරීම මඟින් වාසිදායක තත්ත්වයක් උද්ගත කරගත හැකිය. බොහෝ දුරට අඹුසැමියන් අතර දුරස් වීම් ඇති වෙයි. ඥාතින්ගේ ආදර සැලකිලි ලැබෙයි. ක්‍රමයෙන් දියුණුව සැලැසෙයි.

විවාහය

ආගම දහමට ළැදි සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ වාසනාව උදා කරයි. විවාහය නිසා අත්හිට­ුවුණු අධ්‍යාපනය නැවතත් ඉදිරියට ගෙන යෑමෙහි භාග්‍ය හිමි වෙයි. විවාහ ජීවිතය සතුටුදායක වෙයි. සහකරු හෝ සහකාරියගේ තැන්පත් ධනයක් යොදා අනාගත දියුණුවට වැඩපිළිවෙළක් සකසා ගනී.

ජය අංකය - 1

සුබ දවස - සෙනසුරාදා

කන්‍ය

දේපළ හිමිකම් ලාබ

උපක්‍රමශීලීව වැඩ කටයුතුවල යෙදෙන අතර ඇසුරු කරන පිරිස් නම්මා ගැනීමේ හැකිකම් උදා කරයි.

ධනය

පීඩාවට පත්ව සිටින අයට යහපත් කාලයක් උදා වෙයි. අහිමි වූ දේපළ හිමිකම් ලාබ ඇති කරන වසරකි. රැකියාවට අමතරව ඉඩකඩම් හා දේපළවලින් ලබන ධනය වැඩිදියුණු වේ. වෛද්‍යවරුන්ට විශේෂ ධන ලාබ හිමි වෙයි. ව්‍යාපාර කටයුතු වාසිදායක තත්ත්වයක් ඇති කරයි. මැයි මාසයෙන් පසු සැනසිලිදායක තත්ත්වයක් ඇති කරයි.

අධ්‍යාපනය

මේ වසර ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට සුබදායකය. විභාගවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. විදේශ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට බලාපොරොත්තු නොවූ සහන රැසක් ගොඩ නැඟේ. ගොවි, කර්මාන්ත, වෛද්‍ය හා ගණකාධිකරණ ක්ෂේත්‍රවල නිරත අයට යහපත්ය.

ගෘහ ජීවිතය

මවු පාර්ශ්වයේ අයගෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැකි වෙයි. රැකියා නොමැති අයට රැකියා ලාබ ගෙන දෙයි. ගෘහ ජීවිතයේ සතුටුදායක තත්ත්වයක් උදා කරයි. එඩිතර බවකින් යුතුව කටයුතු කරන්නට ලැබේ. අසල්වැසියන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකි වෙයි. තම වැඩක් සඳහා මුදලක් පරිත්‍යාග කරයි. දේශපාලකයන්ට සහාය දීමේ රුචිය ඇති වේ.

විවාහය

උසස් පවුල්වලින් විවාහ යෝජනා ඉදිරිපත් වෙයි. පෙම් සබඳතා වර්ධනය වෙයි. විවාහ ජීවිතයේ ගැටලු මතු වෙයි. දිගු කාලයක සිට දැන හැඳින සිටි අයෙකු සමඟ විවාහ වීමට අවස්ථාව උදා වෙයි. සහකරුට හෝ සහකාරියට සිතේ ප්‍රසාදය ඇති කෙරෙයි.

ජය අංකය - 9

සුබ දවස - සඳුදා

තුලා

නොසිතූ දියුණුවක්

නොසිතූ දියුණුවක් මේ වසර තුළ ගොඩ නැඟේ.

ධනය

ව්‍යාපාර මාධ්‍ය මඟින් නව දියුණුවක් ඇතිකර ගැනීමට හැකි වෙයි. අසල්වැසි සහයෝගය තුළින් පැරැණි ණය ගනුදෙනුවලින් මිදීමට හැකි වෙයි. කෘෂිකර්මාන්ත හා පතල් කර්මාන්තවලට සම්බන්ධකම් තිබුණ ද ඒවායින් එතරම් ලාබ නොලැබෙයි. උසස් ආයතන හෝ රජයේ සේවාවල සිටින අයට සිත සතුටු කරවන වේතන ලැබීමට හා උසස් තනතුරුවල සේවා කිරීමට අවස්ථා සැලැසේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටින අයට සැප්තැම්බර් මාසයෙන් පසු පැතුම් ඉටු වේ.

අධ්‍යාපනය

ගුවන් යානා හා නාවික ක්ෂේත්‍ර ඉංජිනේරු කටයුතු අධ්‍යාපනය කරන අයට හා දේශපාලන ජනසන්නිවේදන අංශවල පුහුණු ලබන අයට යහපත් කාලයක් වෙයි. තවද වෛද්‍ය, කෘෂිකර්මාන්ත, පරිගණක අංශවලට යොමු වන අයට විදේශ උපාධි හා සම්මාන ලාබ මේ වසර තුළ හිමි කරගත හැකි වෙයි.

ගෘහ ජීවිතය

මේ නව වසරේ ඔබට විශේෂ අවස්ථා කිහිපයක් ගොඩනඟා ගත හැකිය. නිවාස නවීකරණය සඳහා මුදලක් වැය කරන්නට සිදු වෙයි. ඉඩම් ලාබ හා වාහන මිලදී ගැනීම්වලට සිත යොමු වේ. පවුලේ අය අතර සමඟිය වර්ධනය වෙයි. සැමියා හෝ බිරිය රැකියා සඳහා දුර ප්‍රදේශවලට මාරුවීම් හෝ විදේශ රටවලට යාමට සිදු වේ.

විවාහය

අවිවාහක අයට මංගල යෝජනා උදා වෙයි. ඉදිරිපත් වන මංගල යෝජනා සාර්ථක කරගත හැකිය. සැහැල්ලු ලෙස ජීවිතය සකසා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන කාලයකි.

ජය අංකය - 8

සුබ දවස - අඟහරුවාදා


වෘශ්චික

තනතුරුවල උසස්වීම්

වසර මුල කාලය සුබ පල හීන කරයි.

ධනය

ආර්ථික තත්ත්ව තරමක පහළ බැසීම නිසා සේවාවල වෙනස්කම් රාශියකට ඉඩ යෙදේ. රජයේ සේවයේ මෙන්ම පළාත් පාලන අංශවල නිරත වන අයට ස්ථාන මාරු හෝ තාවකාලික වැඩ කටයුතු අහිමි වීම්වලට මුහුණ දෙන්නට සිදු වේ. ගොවි ජනතාවට හා ධීවර කර්මාන්තවල යෙදෙන අයට සහන රැසක් විදේශ ආධාර හිමි වීමෙන් ගොඩනඟා ගත හැකිය.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට මුල් කාලයට වඩා මැද හා අග කාල ඉතා යහපත් වෙයි. ගුරුවරුන්ගේ හා ප්‍රභුවරයන්ගේ සහාය ලැබේ. තරග විභාග ආදියෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත හැකිය.

විශේෂයෙන් භාෂා පරිවර්තන, විවිධ භාෂා අධ්‍යයනය කරන්නන්ට යහපත් කාලයක් උදාකර දෙයි. විදේශ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට සුබදායක වෙයි.

ගෘහ ජීවිතය

පවුලේ ප්‍රශ්න සම තත්ත්වයක පවතී. සහකරු හෝ සහකාරියගේ සහාය තුළින් ක්‍රමවත් දියුණුවක් මතුකර දීමට අවස්ථා සැලැසේ.

සිකුරු ග්‍රහයා බලවත්ව පස්වැන්නේ සිටීමෙන් වාසනාවන්ත දරු උපත් සිදුවන වසරකි. වසර මැද භාගයේ නව නිවාස ලාබ හෝ වගා ඉඩම් ලාබ හිමි වෙයි.

විවාහය

පෙම් සබඳතා වැඩි දියුණු වෙයි. කාලයක සිට ඇසුරු කැරෙන අයකු නැවත මුණගැසීමෙන් පවත්වන හිතවත්කම් මුල්කොට ව්‍යාපාරවල සහායට එක්වීම හෝ එවැනි කටයුතුවල මුදල් යෙදවීමෙන් පවුලේ දියුණුව වැඩි වෙයි.

ජය අංකය - 8

සුබ දවස - අඟහරුවාදා


ධනු

විදෙස්ගත වීමට අවස්ථාව

තරග ජය ගැනීමෙන් වාසි සැලැසේ.

ධනය

වියදම් අධික වෙයි. පැරැණි ණය මුදලක් ගෙවීමට හැකි වෙයි. ධනය ඉපයුව ද ඉතිරි කිරීමට නොහැකි වීම නිසා සිතේ සන්තාපය ඇති කරයි. බොහෝ දුරට මුදල් ගනුදෙනුවලට සිත යොමු කරයි. සේවා පාඩු ගෙන දෙන අතර මිශ්‍ර ඵල ගෙන දෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විශේෂයෙන් කලා අංශයට, සංගීත හා නෘත්‍ය අංශවල කටයුතු කරන අයට කීර්තිනාම හිමිකර ගැනීමට හැකි වෙයි. ප්‍රචාරක හා ජනමාධ්‍ය වැනි වෘත්තින්හි යෙදුණ අයට ක්ෂේත්‍රයට අදාළ පුහුණුව ලබා ගැනීමට හෝ උපාධි ලාබ හිමිකර ගැනීමට විදේශගත වීමට අවස්ථාව උදා වෙයි. විදේශවල සිටින සමීප ඥාතින් නිසා අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකි වෙයි.

ගෘහ ජීවිතය

ඥාතින්ගේ ආදර සැලකිලි ලැබෙයි. ක්‍රමයෙන් දියුණුව සැලැසෙයි. එඩිතර භාවය නිසා මිත්‍රශීලීව අන් අය සමඟ කටයුතු කිරීමට හැකි වුවත්, මඳ අපල තත්ත්වයක් ඇති වෙයි. දරුවන්ගේ අනාගත වැඩපිළිවෙළක් සඳහා උනන්දුවක් ඇති කරන අතර දරුවකුගේ ඉගෙනුමකට මුදල් වැය කරන්නට සිදු වෙයි. ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකිය.

විවාහය

මේ වසර අවිවාහක අයට සුබදායක වසරකි. නව ඥාතිත්වයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව උදා වෙයි. ඇති කරගත් හිතවත්කම් නිසා අපේක්ෂිත විවාහය මේ වසරේ මැද භාගයේදී සිදු වනු ඇත.

ජය අංකය - 6

සුබ දවස - සිකුරාදා

මකර

අදහස් සඵල වෙයි

ලග්නාධිපති ශනි 12 වැන්නේ සිට භාග්‍ය ස්ථානයේ සිටින ගුරුට දෙන දෘෂ්ටිය මිශ්‍ර ඵල දෙයි. වසර මුල් කාලයේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

ධනය

නීතිවේදීන්ට හා මාධ්‍යවේදීන්ට යහපත් වසරකි. ලබන මුදල් රඳවා ගැනීමට අපහසු වන අතර හිතවත් අය හා එක්වීමෙන් අනවශ්‍ය වියදම්වලට හේතු වේ. ව්‍යාපාරිකයන්ට තම සේවා ප්‍රශ්න සඳහා යෙදෙන වියදම් හා බදු ණය නිරවුල් කරවීමට කරන ඉල්ලුම් හා වෙනත් වියදම් නිසා බැංකු තැන්පතු අඩු වන තත්ත්වයක් ඇති වෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට අලුත් විෂයන් හා විදේශ භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීමට උත්සාහ දරන අයට අදහස් සඵල වෙයි. ගුරු ඇසුර තුළින් භාග්‍ය උදා කරයි. විදේශ අධ්‍යාපන කටයුතුවලට යොමු වන්නන්ට සුබදායක වසරකි.

ගෘහ ජීවිතය

ස්ථිර පදනමක් ඇතිකර ගැනීම තරමක් අපහසු වෙයි. නව ගිවිසුම් ඇතිකර ගනී. සහකරුට හෝ සහකාරියට සිතේ ප්‍රසාදය ඇති කෙරේ. විනෝද සංචාරවල යෙදීමට අවස්ථාව උදා වෙයි. බොහෝ දුරට අඹු සැමියන් අතර දුරස් වීම් ඇති වෙයි. සැමියා හෝ බිරිය රැකියා සඳහා දුර ප්‍රදේශවලට මාරුවීම් හෝ විදේශවලට යෑම එයට හේතු වේ.

විවාහය

විවාහ ජීවිතය සතුටුදායක වෙයි. සහකරු හෝ සහකාරියගේ තැන්පත් ධනයක් යොදා අනාගත දියුණුවට වැඩපිළිවෙළක් සකසා ගනී. දරුවන්ගේ ක්‍රමවත් දියුණුව වැඩි වීම නිසා සිතේ සතුට වර්ධනය වෙයි.

ජය අංකය - 2

සුබ දවස - සෙනසුරාදා

කුම්භ

ආගම දහමට වැඩිපුර සිත

මේ වසර ආගම් ඇදහිලිවලට වැඩිපුර සිත යොදවන වසරකි.

ධනය

ඔබට ධනවත් වීමේ භාග්‍යය හිමි බව පෙන්වන අතර මෙහි ගුරු ගෝචරය වැදගත් තැනක් ගනී. ආර්ථික මට්ටමේ දියුණුව ඇති කරයි. ගුරු වෘත්තියේ යෙදෙන අයට උසස් වීම් ලැබේ. රජයේ සේවාවල යෙදෙන අයට වැටුප් ලාබ වැඩි වෙයි.

අධ්‍යාපනය

තරග විභාගවලින් ජය ලබා ගනී. පොතපත කෙරෙහි තරමක උදාසීනත්වයක් මුල් මාස කිහිපයක තුළ ඇති වෙයි. අගෝස්තු මාසයෙන් පසු කාලය ඉගෙනීම කෙරෙහි උනන්දුව වැඩි කරයි. විවිධ විෂයන් පිළිබඳ දැනුම, පොතපතට ලැදියාව, කථිකත්වය ආදිය උදාකර ගනී. විදේශයන්හි අධ්‍යාපන කටයුතුවලට සුදුසුකම් ලබයි.

ගෘහ ජීවිතය

මායිම් ගැටලු මුල් කොට නැඟෙන නඩුහබවලට මුහුණ පෑමට සිදු වේ. එඩිතර බවකින් යුතුව කටයුතු කරන්නට ලැබේ. අසල්වැසියන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකි වෙයි. සොහොයුරියකගේ ආදරය මුල්කොට තම වැඩක් සඳහා මුදලක් පරිත්‍යාග කරයි. දුර පළාතක සිටින ඥාතියකුගේ ඇරියුමක් සඳහා ගමනකට ඉඩ යෙදේ.

විවාහය

කාලයක සිට පැවැති පෙම් සබඳතාවක් වැඩිහිටි කැමැත්ත මත විවාහය දක්වා ඉදිරියට ගෙන යෑමට හැකි වෙයි. හොඳ හිත පතුරුවා ගැනීමට කරන උත්සාහය සඵල වේ.

ජය අංකය - 7

සුබ දවස - බදාදා

මීන

හැකියාවන් පෙන්වයි

මේ වසර කාගේත් සිත් ඇදගන්නා වසරකි. තම හැකිකම් රටට ලෝකයට පෙන්වීමට කරන උත්සාහය සාර්ථක වෙයි.

ධනය

ව්‍යාපාර ආයතන හා බැංකු සේවා හා පූජනීය ස්ථාන භාරකාරිත්වයේ සිටින අයට යහපත්ය. එහෙත් ධනය ඉපයූව ද ඉතිරි කිරීමට නොහැකි වීම් නිසා සිතේ සන්තාපය ඇති කරයි. බොහෝ දුරට මුදල් ගනුදෙනුවලට සිත යොමු කරයි. සේවාවල පාඩු ගෙන දෙන අතර මිශ්‍ර ඵල ගෙන දෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත අයට උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමි වෙයි. ඔවුනට ගුරුවරුන්ගේ හා ප්‍රභුන්ගේ සහයෝගය ලැබේ. ගණකාධිකරණ, මුදල් අයකැමි හා රජයේ සේවාවල අවස්ථාව සැලැසෙයි. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබෙයි.

ගෘහ ජීවිතය

දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මුදලක් පරිත්‍යාග කරයි. මෙම කාලය ණය බර වැඩි වෙයි. එහෙත් එම ණය ක්‍රමානුකූලව ගෙවා නිම කිරීමට වැඩිහිටියකුගේ උපකාර ලැබේ.

විවාහය

අවිවාහක අයට මංගල යෝග උදා කෙරේ. උගත් හා සැලකිය යුතු පවුලකට අයත් සහකරුවකු හෝ සහකාරියක ලැබීමට ඉඩ යෙදේ.

හිතුමතේ ගන්නා තීරණ ගැන පසුතැවීමට සිදුවන හෙයින් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. පෙම් සබඳතා ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු ඇතිව සිටින අය ඉතා සැලකිලිමත් විය යුතුය.

ජය අංකය - 5

සුබ දවස - සඳුදා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.