Apr 23

පුත්තලම කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතියට වූ අපරාධය ගෝටා හෙලි කරයි

අපි පුත්තලමට කුණු ගෙනියන්න
හැදුවේ ඉතාමත් විද්‍යානුකූල විදියටයි

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමගම පසුගිය දශක දෙක තුන තිස්සේ මෙරට පාලනය කළ සියලුම රජයන් දෙසට දෝෂාරෝපනයේ ඇඟිල්ල දිගුවෙන්නට විය. පසුගිය රජය සමයේ දී මෙකී කුණු ප්‍රශ්නයට විසඳුම් යොදන්නට තිබුණත් එම රජයද එය පැහැර හැරිය බවට චෝදනාවක් ද එල්ල විය.

ඊට පිළිතුරු වශයෙන් පැවති රජයේ වගකිව යුත්තෝ කියා සිටියේ ඔවුන් මීට නිසි පිළියම් යොදමින් තිබුණත් රජය බිඳවැටීමනිසා ඒවා ක්‍රියාත්මක කරගත නොහැකි වූ බවයි. මේ අතරම හිටපු රජයේ ආරක්ෂක ‍ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කුණු කන්ද පුත්තලමට ගෙනයාමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබූ බවද කියැවිණි. ඒ නිසා අපි මේ පිළිබඳව අධි ශිෂ්‍යත්වයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කතා කළෙමු.

ප්‍ර: මීතොටමුල්‍ලේ කුණු කන්දේ ඛිෙදවාචකයෙන් පසුව කුණු කන්දේ ප්‍රශ්නයට ඔබත්, පසුගිය රජයත් වගකිවයුතුයි කියලා ඇතැම් දේශපාලනඥයන් චෝදනා කරනවා. මේ ගැන මොකද කියන්න තියෙන්නේ?

පි: අපි ආණ්ඩුව අරන් අවුරුදු දෙකහමාරක් යද්දී යුද්ධය සම්පූර්ණයෙන්ම ඉවර කළා. නමුත් මේ අය ආණ්ඩුව අරන් අවුරුදු දෙකහමාරක් යද්දී කුණු කන්දේ ප්‍රශ්නයවත් විසඳගන්න බැරිව තාමත් අපිට බැණ බැණ ඉන්නවා. අපි ආණ්ඩුව බලයට ආපු වෙලාවේ මේ අය වගේ යුද්ධය කරද්දී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බැණ බැණ හිටියේ නැහැ. අපි අපේ වැඩේ හරියට කළා.

ප්‍ර: පසුගිය රජයේ ආරක්ෂක ‍ලේකම්වරයා ලෙස කටයුතු කළේ ඔබ. ඇයි මේ අය ඔබට චෝදනා කරන්නේ?

පි: මුලින්ම කියන්න ඕන මේ කුණු ප්‍රශ්නය මගේ වගකීමක් ‍නෙවෙයි. නමුත් මම කොළඹ අලංකරණය කරන වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරවද්දී කොළඹ කුණු ප්‍රශ්නයේ බැරෑරුම්කම තේරුම් ගත්තා. කොළඹ නගර සභාවට මේක කරන්න බැරිව ඉද්දී මම කුණු ප්‍රශ්නය අතට අරන් කළා. අන්තිමට කොළඹ ලස්සන කරන්න ගිහින් කොහේවත් යන කුණු ගොඩක් මම ඇඟේ ගහ ගත්තා වගේ වැඩක් මේක.

ප්‍ර: ඔබ භාරගත්ත අභියෝගය ක්‍රියාත්මක වුණේ කොහොමද?

පි: අපි කොළඹ කුණු ඉවත්කරන මේ ව්‍යාපෘතිය නිකන් පටන් ගත්තේ නැහැ. ලෝක බැංකුව එක්ක එකතු වෙලා තමයි පටන් ගත්තේ. ලෝක බැංකුව මේ කටයුතු අධ්‍යයනය කර මුදල් වියදම් කළා. කොළඹ කුණු කන්ද පුත්තලමට ගෙනියන්න සැලසුම් කළේ ඒ අනුවයි. අපිට නිකන්ම පුත්තලමට කුණු කන්ද ගිහින් අතාරින්න බැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා වට ගණනක් පවත්වලා මීතොටමුල්ලට රේල් ට්‍රැක් එකක් දාන්න තීරණය කළා.

ප්‍ර: ඊට පස්සේ මොකද වුණේ?

පි: අපි 2013 දී ලෝක බැංකුවත් එක්ක මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒක සම්පූර්ණයෙන් ප්ලෑන් කරන්න අවුරුදු එකහමාරක් විතර ගියා. මේක වළකට කුණු දානවා වගේ ‍නෙවෙයි. අපි හරි ක්‍රමයකට පුත්තලමේ තෝරාගත් භූමියකට කුණු දාන්නයි සැලසුම් කළේ. ඊට පස්සේ සම්පූර්ණ සැලැස්ම කැබිනට් එකට දාලා අනුමැතිය ගත්තා. 2014 අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණා. 2015 දී කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්න තිබියදී තමයි ආණ්ඩු පෙරළිය සිදු වුණේ.

ප්‍ර: ඒ කියන්නේ සියල්ල සැලසුම් කර තිබියදී ද මේක නැවතුණේ?

පි:ඔව්. අපි සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තිබියදී ආණ්ඩු පෙරළිය වුණා. නමුත් මම ඒ ව්‍යාපෘතියට පත් කළ අවංක නිලධාරින්වත් හදිසියේම මාරු කළා. අන්තිමට ව්‍යාපෘතිය අතරමග නැවතුණා.

ප්‍ර: ලෝක බැංකුව සහාය දුන්න ඒ ව්‍යාපෘතිය නැවැත් වුණේ කෙසේද?

පි: විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු විදියට කටයුතු කළ රොහාන් සෙනෙවිරත්නව මම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් තනතුරකට පත් කරලා ගත්තේ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය සඳහායි. මෙට්රෝ කලම්බු ඩිවලොප්මන්ට් ‍ප්‍රොජෙකට් එක භාර ප්‍රධානියා විදියට තමයි රොහාන් සෙනෙවිරත්නව ගත්තේ. ඒ නිලධාරියා දක්ෂ, අවංක නිලධාරියකු නිසයි මේ ව්‍යාපෘතිය භාර දුන්නේ. කලම්බු ඩිවලොප්මන්ට් ‍ප්‍රොජෙක්ට් එක ලෝක බැංකුව සමග කළ අවුරුදු පහක සැලසුමක් යටතේ ක්‍රියාත්මක කරන්න තිබ්බේ. අපි ඒ ව්‍යාපෘතිය අවුරුදු තුනක් කළා. ඒ යටතේ තමයි කොළඹ කසළ කළමනාකරණය කර පුත්තලමට යන ව්‍යාපෘතියක් අධ්‍යයනය කළේ. අවසානයේ ආණ්ඩු පෙරළියත් එක්ක කොළඹ සංවර්ධන වැඩපිළිවෙළත් අතර මග නැවතුණා. ලෝක බැංකු ව්‍යාපෘතිය අවසන් නොකළ නිසා චෝදනා එල්ල වෙද්දී තමයි චම්පික රණවක අමාත්‍යවරයා හදිසියේම අපි කරගෙන ආපු ව්‍යාපෘතිවලට ආරම්භක දිනය 2016 කියලා දාලා කොළඹ පුරාම මගේ ව්‍යාපෘතිවලට නම ගහගෙන බෝඩ් ගහන්න ගත්තේ.

ප්‍ර: ලෝක බැංකු ව්‍යාපෘතිය සඳහා ඔබ පත් කළ නිලධාරියා ඉවත් කෙරෙන්නේ කොහොමද?

පි: අපි දීර්ඝකාලීන පිළියමක් විදියට තමයි පුත්තලමට කුණු ගෙනයන ව්‍යාපෘතිය සැලසුම් කළේ. අපේ සැලසුම වුණේ පුත්තලම, අරුවක්කාරු ප්‍රදේශයේ තිබුණු හුනුගල් වළවල්වලට විද්‍යානුකූල හා විධිමත් ක්‍රමවේදයකට දුම්රියෙන් කසළ ගෙනිහින් බැහැර කරන්නයි. ඒ සියලු ව්‍යාපෘති සැලසුම් කළේ රොහාන් සෙනෙවිරත්නයි. අපේ ආණ්ඩුව ඡන්දෙන් පරාජය වුණාට පස්සේ ආපු දින සියයේ ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා වෙනත් කුණු බැහැර කරන ව්‍යාපෘතියක් කොළඹ නගර සභාවට ඉදිරිපත් කරලා තිබුණා. කොළඹ හිටපු නගරාධිපති මුසම්මිල් මහතා මේ ගැන කතා කරගන්න රොහාන් සෙනෙවිරත්නව ගෙන්වලා තිබුණා. අවුරුදු ගාණක් අධ්‍යයනය කරලා හදපු ව්‍යාපෘතිය වෙනුවට වෙනත් ව්‍යාපෘති කරන්නට යාම පලක් නොවන බව රොහාන් එතැනදී පෙන්වලා දීලා තිබුණා. කලින් සැලසුම් කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කී නිසා අවසානයේ රොහාන්ව ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසියේම මාරු කරලා විදුලිබල මණ්ඩලයට යවලා තිබුණා. හදිසියේම මේ නිලධාරියා මාරු කිරීමත් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් නතර වුණා.

ප්‍ර: මීතොටමුල්‍ලේ ඛිෙදවාචකය ඇති වූයේ මේ නිසාද?

පි: ඇත්තටම පුද්ගලයා කව්ද කියන එක ‍නෙවෙයි වැදගත්. මේ වගේ ජාතික ප්‍රශ්නයකදී සිදුකරන ව්‍යාපෘති කුමන ආණ්ඩුවක් යටතේ හරි ක්‍රියාවට නැංවීමයි වැදගත් වන්නේ. අපි මේ ව්‍යාපෘතිය අධ්‍යයනය කරලා ක්‍රියාවට නංවනතුරු කොළඹ කුණු ප්‍රශ්නය ගැටලුවක් නොවන්නත් වග බලා ගත්තා. මම විටින් විට මීතොටමුල්ල කුණු කන්දට ගිහිල්ලා නිලධාරින් එක්ක සාකච්ඡා කරලා අවට ජනතාවගේ ප්‍රශ්නවලටත් විසඳුම් දුන්නා. අපි කුණු කන්දේ කුණු විධිමත් ක්‍රමයකට එක්රැස් කළා. ආමි එක දාලා කුණු කන්ද ඩෝසර් කෙරෙව්වා. වටේ කානු දාලා නිසියාකාරව වතුර බැස්සුවා. අපි සියල්ල සැලසුම් සහගතව කරපු නිසා අවට ජනතාවට අවදානමක් ඇති වූයේ නැහැ.

ප්‍ර: ඒ කියන්නේ වත්මන් රජයේ නිලධාරින් මේක මගහැරියා කියන එකද?

පි: මේ අය කිසිම කළමනාකාරණයක් කරලා නැහැ. හිමා‍ලේ කන්ද වගේ කුණු ටික ගෙනත් දාලා විතරයි. මේ කුණු බැහැර කරන එක නිසියාකාරව කළමනාකරණය කළා නම් මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ. මම ආරක්ෂක ‍ලේකම් විදියට ඉද්දී කුණු කන්දට ගිහිල්ලා ඒවා නිසි ආකාරයෙන් සිදුවනවාද කියලා බැලුවා. මෙතැන තාවකාලිකව කුණු ගොඩගැසුවේ පුත්තලමට අරන් යනකන්.

ප්‍ර: ඒ කා‍ලේ අවට පදිංචිකරුවන්ට අවදානමක් තිබෙන වග අධ්‍යයනය කළේ නැද්ද?

පි: අපි ඒ සියල්ල අධ්‍යයනය කරලා තමයි කන්ද ළඟම සිටි පදිංචිකරුවන් ඉවත් කරලා නිවාස දුන්නෙ. මම නිවාස සංවර්ධන අධිකාරියේ ගෙවල් තුන්සියයක් කොළඹ නගර සභාවට භාර දුන්නා. ඒ අතරින් නිවාස එකසිය පනහක් කොළොන්නාවට ගිහින් ජනාධිපතිතුමාමයි නිල වශයෙන් භාර දුන්නේ. අපි ඒ ගෙවල් දෙන කොටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවා ඒ අයගේ කටවුට් ගහගෙන තිබුණා. මැතිවරණයට සති ගණනකට කලින් තමයි ඔය නිවාස දුන්නේ. ඉතිරි ගෙවල් ටිකට මොකද වුණේ කියලා නගර සභාවෙන් තමයි අහන්න ඕනෑ.

ප්‍ර: කසළ නිසි අයුරින් කළමනාකරණය කර පුත්තලමට යවන්නත්, ඒ වනතුරු මීතොටමුල්‍ලේ ජනතාවට නිවාස ලබාදීමේ කාර්යය භාරය ගැනත් අද කව්රුත් කතා කරන්නේවත් නැහැ නේද?

පි: අපි නිසි සැලසුමකට ව්‍යාපෘති සැලසුම් කළා. ඉතිරි ටික අවසන් කරන්න කලින් ආණ්ඩු පෙරළි සිදුවුණා. එසේ නොවුණා නම් මේ කුණු ප්‍රශ්නයට දැන් විසඳුම් ලැබිලා. ඒ ව්‍යාපෘති දිගටම කරගෙන යන්නේ නැතිව අපිට බණිනවා. අපි කරපු වැඩ ගැන කතා කරන්නේත් නැහැ. මේ උදවියට හදිසි තත්ත්වයක් දැනගත්තාම අවට පදිංචිකරුවන් ආරක්ෂිත තැන්වල නැවත පදිංචි කරවන්න තිබුණා. මම ඉන්න කා‍ලේ ඔය ප්‍රදේශවල නාගරික සංවර්ධන අධිකාරිය කළ නිවාස ව්‍යාපෘති සමහරක් දැන් වැඩ ඉවර වේගෙන යනවා. ඒවායේ හරි ඒ අය පදිංචි කරවන්න තිබුණා.

ප්‍ර: මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න ඔබේ සහාය ඉල්ලුවොත් දෙනවද?

පි: අනිවාර්යයෙන්ම සහාය දෙනවා. මොකද මේක අපි ජයගත යුතු අභියෝගයක්. මේක ජනතාවගේ ප්‍රශ්නයක්. දිනකට කුණු ටොන් සිය ගණනක් කොළඹට එකතු වෙනවා. නිසි ආකාරයෙන් කසළ කළමනාකරණය කරලා කුණු ප්‍රශ්නය විසඳන්න දැන්වත් අවධානය යොමු කළ යුතුයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.