Apr 03

අලූ‍ත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?

අප්‍රේල් 14දා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන මොහොතේ ලංකා කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයන් මේ අයුරින් වේ. කේතු ලග්නයේද, රාහු 7ද, කුම්භ 4 සහ ලග්නාධිපති ශනි අයස්ථානයේද, බ්‍රහස්පති අටවැන්නේද සිටී. යෝගකාරක සිකුරු උච්චයි. කෙසේ වුවත් කේතු ලග්නයේ රාහු හත්වැන්නේ සිටීම එතරම්ම සුබදායක පිහිටීමක් නොවේ. ලබන්නා වූ මෙම වර්ෂය තුළ යම් යම් බාධා අවහිරතා,
  ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ කටයුතු කළ යුතු අතර උත්සාහය සහ කැපවීම තුළ සැවොම එකාකාරයෙන් සිටීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

කෙසේ වුවත් යෝගකාරක සිකුරු දෙවැන්නේ උච්ච රාශියේ සිටිමින්, ලග්නාධිපති සෙනසුරු අයස්ථානගත වීමත් තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද, දියුණුවක්ද උදාකරගනු ඇත. අයහපතට පවතින මුදල් තත්ත්වය ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු ඇත.

විශේෂයෙන්ම 2017.08.18න් පසු රාහු, කේතු මාරුවීමත්, කේතු ලග්නයෙන් ඉවත්වීමත්, 2017.9.12 සිට බ්‍රහස්පති භාග්‍ය ගතවීමත් ඉතාමත් ප්‍රශංසා තත්ත්වයක් උදා කරයි. ක්‍රමයෙන් රටේ දියුණුව උදෙසා කර්මාන්ත ඇතිවීම, පවතින කර්මාන්තවල ප්‍රතිසංස්කරණයක් ඇතිවීම ඒ තුළ රටේ සේවා වියුක්තියට කිසියම් සහනයක් ලැබිම පෙන්වයි. එසේම ක්‍රමයෙන් යටිතල පහසුකම් දියුණු වීම, ඒ සම්බන්ධ මුදල් ආයෝජනයට සුබයි.

ආර්ථික සහ මූල්‍යමය තත්ත්වයන්වල බාධා ඇතත් මුදල් නාස්තිවීම්, වංචා සහගත තත්ත්වයක් පෙන්නුම් කළත් සමස්තයක් වශයෙන් ආර්ථිකයේ කිසියම් වර්ධනයක් උදාවේ. දළ ජාතික ආදායම්වල ඉහළ යෑම් වේ. විදේශීය ආධාරය රට තුළට පැමිණීම තුළ ගෙවුම් ශේෂයන්හි පවතින හිඟ ශේෂයන් ක්‍රමයෙන් අඩුවී යනු ඇත. විදේශ රටවල් අප රට කෙරෙහි තබන විශ්වාසය සහ රටේ දේශපාලන ස්ථාවරත්වය තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද උදාකරනු ඇත. සුළු භෝග වගාවන්ට ක්‍රමයෙන් සුබපලදායක වේ. කුරුඳු, ගම්මිරිස් යනාදියට හොඳ ඉල්ලුමක් ලැබේ. තේවලටද යහපත් වනු ඇත.

කර්මාන්තශාලා මෙන්ම රජයේ කටයුතු පුළුල් වීම තුළ තරුණ තරුණියන්ගේ සේවා වියුක්තියට කිසියම් සහනශීලී තත්ත්වයක් උදා කරයි.

එසේද වුවත් විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වයන් තුළ වැඩ වර්ජන ඇතිවීම, මහජනතාව උසිගැන්වීම තුළ වැඩ කරන ජනතාව අතර භේද ඇති කිරීම තුළ යම් යම් විෂමතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වීමටකද ඉඩ නැත්තේ නොවේ.

විශේෂයෙන්ම 2017.10.26 තෙක් මෙකී තත්ත්වයන් උදා කළත් ඉන්පසු ක්‍රමයෙන් යහපත් වනු ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසාත් වැඩපිළිවෙළවල් සකස් වුවත් විශ්වවිද්‍යාල සිසුන් තුළ ඇතිවන විරෝධතාවන් තුළ අඩුවීමක් පෙන්නුම් කෙරයි. තාක්ෂණික, කාර්මික සහ විද්‍යා ක්ෂේත්‍රවල විෂයයන් උදෙසා ඒ විෂයයන් තුළ අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා යහපත් නියාමනයන් උදාකරනු ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත් වාතාවරණයක් උදාවේ. රෝහල්වල දියුණුවට කටයුතු සැලසේ. බෙහෙත් ද්‍රව්‍යවල මිල පහළ බැසීම් පෙන්වන වර්ෂයකි.

‍පොදු වශයෙන් බාධා අවහිරතා එල්ල වුවත් විරෝධතා ඇති කළත් කිසියම් මට්ටමක යහපත් ප්‍රතිඵලයක් උදා කරයි. එසේද වුවත් ස්වභාවික විපත්, අනතුරු පීඩා, වසංගත යනාදිය පැතිරීම වැනි දේවලට ඉඩ නැත්තේද නොවේ. සැමට සුබ නව වසරක් වේවා

මේෂ – බුද්ධිමත්වන්න

ලග්නාධිපති අඟහරු දෙවැන්නේ සිටියදී වර්ෂය ආරම්භ වේ. යෝගකාරක රවි ලග්නයේ උච්ඡයි. දිග්බල බුධද සමගයි. සිකුරු 12 උච්ඡවද, ගුරු හයේ විමල යෝගයෙන්ද සිටින අතර රාහු පස්වැන්නේද, ශනි නවවැන්නේය. චන්ද්‍රයා නීචව අටවැන්නේද සිටී. මෙම පිහිටීම තුළ මේෂ ලග්නාධිපති ඔබට ශුභා’ ශුභ පල උදා කරයි. 2017.09.12 තෙක් ගුරු 6ද ඉන්පසුව හත්වැන්නට පැමිණේ. රාහු සහ කේතු අගෝස්තු 18 සිට 4 වැන්නට සහ දහවැන්නට පැමිණීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී දැනට වඩා සුබදායක තත්ත්වයක් උදාකරනු ඇත. 2017.09.12 තෙක් ග්‍රහ ගමන් ඔබට එතරම්ම යහපත් නොවේ. බාධා ඇතිකළ හැක. ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලැබිය හැක. කෙසේද වුවත් 2017.06.21 සිට 2017.10.26 තෙක් කාලය තුළ සෙනසුරු වක්‍රව නැවත අටවැන්නට පැමිණීම තුළ එම කාලය තුළ හැම අතින්ම ප්‍රවේශම් විය යුතුයි.

ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද තරමක් විමසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුත්තේය. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වන අතර, විටෙක සමගිය සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු ගැන 2017.08.18 දින තෙක් සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ද හැසිරීම් යනාදිය ගැනද සැලකිලිමත් වන්න. 2017.08.18 සිට රාහු පස්වැන්නෙන් ඉවත් වීම තුළ දරුවන්ගේ කටයුතු ක්‍රමයෙන් සාර්ථක බවක් ගෙනදෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට 2017.08.18 තෙක් බාධා අවහිරතා සහිතයි. ඉන්පසුව ක්‍රමයෙන් උනන්දුව වැඩිවී සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත.

සෞඛ්‍යය ගැන සැලකීමේදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික රෝග, මූත්‍රා රෝග, අනතුරු පීඩා, තුවාල යනාදියෙන්ද ප්‍රවේශම් වන්න.

සුබ වර්ණය – රතු, රන්වන්

සුබ දවස – සඳුදා, ගුරුදා සුබ අංකය – 09, 03

සිංහ – බාධා මධ්‍යයේ දියුණුවක්

ලග්නාධිපති රවි උච්චව බුධ සමග භාග්‍යස්ථානයේ සිටිමින් වර්ෂය ආරම්භ වේ. රැකීරක්ෂා කටයුතු අංශයෙන් 2017.09.12 තෙක් කාලය අහිතකර නොවේ. යම් යම් බාධා, අවහිරතා ඉස්මතු වුවද එතරම්ම අයහපත් නැත. අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී.

ආර්ථික තත්ත්වය, ධන තත්ත්වය යහපත්ය. ශක්තිමත් වේ. තැන්පත් ධනයක්ද හිමිය. කෙසේද වුවත් 2017.09.12න් පසු ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් සුබ නැත. විටෙක ආදායම් මාර්ගවල අවහිරතාවන් ඇතිකළ හැකි නිසා මිල මුදල් සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි.

පවුල් දිවියේද, යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී ද බොහෝදුරට ඉවසීම අවශ්‍යයි. විටෙක වාද භේදයන්ට ඉඩ මතුකළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. ප්‍රේම සම්බන්ධතාවලදී තරමක් කල්පනාකාරී වන්න.

2017.06.21 සිට 2017.10.26 අතර කාලය තුළදී සිත් තැවුල්, සිත් පීඩා මතුකළ හැකි බැවිනි.

අධ්‍යාපන කටයුතුවලදී ද බාධා ප්‍රමාදතාවන් ඇතිකළ හැක. විටෙක ඉගෙනීමට පරිබාහිර දේවලට හිත වැඩියෙන් ඇදී යයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ පමණක් තමාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කරගත හැක.

තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. හෘදගත පීඩා, රක්ත දෝෂාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – රතු, රෝස

සුබ දවස් – ඉරිදා, ගුරුදා සුබ අංකය – 01, 04

ධනු – ක්‍රමයෙන් දියුණුවක් ලබයි

වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී කොන්ත්‍රාත් ව්‍යාපාර මෙන්ම තරමක් අවිනිශ්චිත ක්ෂේත්‍රයන් උදෙසා මුදල් ආයෝජනය කිරීමට පෙලඹීමක් දක්නට ලැබේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් ප්‍රමාදතාවන්ට, බාධාවන්ට ඉඩ පැවතුණත් ස්වකීය උත්සාහය තුළ සාර්ථකත්වයක් වනු ඇත. විශේෂයෙන්ම 2017.09.12න් පසු වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ වඩාත් යහපත් තත්ත්වයක් උදාවනු ඇත. මිලමුදල් සම්බන්ධයෙන් නම් එතරම්ම සුබදායක නොවේ. ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වනු ඇත.

එසේම ගෙදරදොර කටයුතුවලදීද, යුගදිවිය සම්බන්ධයෙන්ද තරමක් කල්පනාකාරීව කටයුතුවල යෙදීමද අවශ්‍යයි. නොඑසේ නම් සමගිය, සාමයට බාධා එල්ල වනු ඇත. ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වුවද ඒවාටද වැඩිහිටි විරෝධතා එල්ල වුණත් 2017.09.12න් පසු මංගල යෝජනා ඉදිරිපත් වීමක්ද පෙන්වයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් විමසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී 2017.08.18 තෙක් ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. එහෙත් ඉන්පසුව ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථාව උදාකරගත හැකි වේ. ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගනු ඇත.

තමාගේ ශරීර සෞඛ්‍යයන් ගැන ප්‍රවේශම් වන්න. වාතාබාධ, ආමාශගත පීඩා, ජලයෙන් පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගයන්, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, වැටීම්, තැළීම්, තුවාල, අනතුරු පීඩාදියට ඉඩ පවතින නිසා කල්පනාකාරී විය යුතුය.

සුබ වර්ණ – රන්වන්, රෝස

සුබ දවස් – ගුරුදා, කුජදා සුබ අංක – 03, 04

වෘෂභ – බාධා සහිතයි

ලග්නාධිපති සිකුරුද අයස්ථානයේ උච්චයි. කුජ ලග්නයේද රාහු 4, කේතු 10ද සෙනසුරු අටේද වෙමින් වර්ෂය ආරම්භ වේ. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. සේවා ස්ථානවල ගැටුම්, කරදරකාරී වාතාවරණයන් ඇතිකළ හැකි නිසා තරමක් ප්‍රවේශම් සහිතව ක්‍රියා කළ යුතුය. කෙසේද වුවත් 2017.08.18න් පසු රාහු, කේතු මාරුවීම සමග කිසියම් සහනශීලී තත්ත්වයක් උදාකරගත හැක. කෙසේද වුවත් රාජකාරි වශයෙන් වුවද කෙටි ගමන් අධික වනු ඇත.

මුල් භාගයට වඩා අග භාගය ආර්ථික වශයෙන් කිසියම් යහපත් තත්ත්වයක් පෙන්වයි. කෙසේද වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න.

ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් බුද්ධිමත් විය යුතුයි. 2017.06.21 සිට 2017.10.26 දක්වා කාල සීමාව තුළ වඩාත් කල්පනාකාරී වන්න.

නොඑසේ නම් සමගියට සාමයට බාධා අවහිරතා ඇතිකළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු 2017.09.12න් පසු යහපත් වේ. දේ‍පොළ සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් ඉස්මතු වනු ඇත. අධ්‍යාපන අංශයේ නියුක්තව සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථාව සැලසෙන අතර ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක.

තරුණ තරුණියන් අතර ඉස්මතු වන ප්‍රේම සම්බන්ධතාවන් තුළ නොගැළපීම් යනාදියට ඉඩ මතුවේ. විටෙක මානසික වශයෙන් කලකිරීම් යනාදියට ඉඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න.

ශරීර සෞඛ්‍යය ගැන බැලීමේදී පපුව, පෙණහැල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණාධික උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතුයි. වැටීම්, තැළීම් තුවාල පීඩාදියට ඉඩ පවතී.

සුබ වර්ණ – නිල්, ළා කොළ සුබ දවස් – බදාදා, සිකුරාදා

සුබ අංක 06, 08

කන්‍යා – වාසි ගෙනදේ

ලග්නාධිපති බුධ අටවැන්නේ උච්ච රවි සමග සිටිමින් වර්ෂය ආරම්භ වේ. වෘත්තීය හා රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නොවේ. යම් යම් පසුගාමී තත්ත්වයන්ටද ඉඩ පවතී. කෙසේද වුවත් 2017.09.12න් පසු වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු ක්‍රමයෙන් සාර්ථක වේ. විදේශගත වී කටයුතු කිරීමේ අවස්ථා උදාකර ගනී.

මිල මුදල් සම්බන්ධයෙන් තරමක් විමසිලිමත් විය යුතුයි. 2017.09.17 සිට ධනකාරක ගුරු ධනස්ථානගත වීමෙන් පසුව ඔබේ ආර්ථික තත්ත්වය, ධන තත්ත්වය ශක්තිමත් නොවේ. තැන්පත් ධනයක් උදාකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. හවුල් කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත.

ගෙදරදොර කටයුතු යහපත්ය. 2017.09.12න් පසුව වඩාත් සුබයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතාවන් ඇතිවේ. හැඟීම්වලට වහල් වීමට වඩා බුද්ධියට තැන දී කටයුතුවල යෙදෙන්න. දරුවන්ගේ කටයුතුද යහපත් වේ. ඔවුන්ගේ කටයුතු කෙරෙහි දියුණුවක් ලබයි.

අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට සුබදායකයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක වුවද 2017.08.18 සිට විටෙක රාහු පස්වැන්නට පැමිණීම තුළ ඉගෙනීමේ කටයුතුවලට වෙනස් දේවලට ඉඩ සැලසෙනු ඇත.

ශරීර සෞඛ්‍යය ගැන බැලීමේදී හෘදගත පීඩා, තුනටිය ආශ්‍රිත පීඩා, කොන්ද අමාරු, මූත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – කොළ, නිල්

සුබ දවස් – බදාදා, සිකුරාදා සුබ අංක – 05, 06

මකර – විදේශ සංචාර

මකර ලග්න හිමි අයට ලබන්නා වූ මෙම වසර සර්ව සම්පූර්ණ සුබදායක වර්ෂයක් නොවනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී ඔබ බලා‍පොරොත්තු වන තරමටම සාර්ථක ප්‍රතිඵලයක් උදා නොවේ. තම කටයුතු කරගෙන යෑමේදී යම් යම් බාධා අවහිරතාවන් ඉස්මතු වනු ඇත. එම නිසා ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. ආදායම් ලැබුණද වියදම් පක්ෂයද ඉහළ යයි. ආගමික ක්ෂේත්‍රයට නැඹුරුවීමක් උද්ගත කරන අතර, ඒ සම්බන්ධ වියදම් අධිකයි.

ගමන් බිමන් බහුලයි. 2017.08.18න් පසු විදේශ ගමන් බිමන්වලට ඉඩ සලසාගත හැක. යුගදිවියේ සමගිය, සාමය සම්බන්ධයෙන්ද කල්පනාකාරී විය යුතුය. වාද භේදයන්ට මැදිවීමෙන් වැළකිය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද තරමක් සැලකිලිමත් විය යුතුයි. ඉඩම්, නිවාස සම්බන්ධ කටයුතුවලදී ගැටලුකාරී තත්ත්වයන් උදාකළ හැක.

අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් නම් බෙහෙවින් ප්‍රවේශම් වන්න. මූත්‍රා රෝග, ඒ ආශ්‍රිත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග, අර්ශස් වැනි රෝගයන්, අත්, උරහිස්, පාද ආශ්‍රිත පීඩා, වැටීම්, තැළීම්, තුවාල, අනතුරු පීඩාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – නිල්, කොළ

සුබ දවස් – ශනිදා, කිවිදා සුබ අංක – 08, 06

මිථුන – රැකියාවේ දියුණුව

ලග්නාධිපති බුධ අයස්ථානයේ උච්ච රවි සමග සිටිමින් වර්ෂය ආරම්භය වේ. මෙම වර්ෂය තුළ ඔබට සුබපල වැඩියෙන් උදා කරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂාවලදී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ ලෙහෙසියෙන්ද, පහසුවෙන්ද ඉටුකරගත හැක. තම තත්ත්වයේ වර්ධනයක්, දියුණුවක් ගෙනදේ.

ආර්ථික වශයෙන් සුබදායකයි. එසේද වුවත් විටින් විට වියදම් අධික වීම්, මුදල් නාස්ති වීම් යනාදියට ඉඩ නැත්තේද නොවේ. 2017.09.12න් පසු ලැබිම්වලට යහපත් වුවත් 2017.08.18 සිට තැන්පත් ධනයට හානිවීම්ද මුදල් නාස්තිවීම්වලටද ඉඩ පවතී.

ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. යම් යම් බාධා ඇතත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. 2017.09.12 සිට දරුවන්ගේ කටයුතු සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු යහපත්ය. එසේම සුදුසු වයසේ පසුවී සිටින අයට මංගල යෝජනා ඉදිරිපත් වේ.

අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට යම් යම් බාධා ඉස්මතු වුවද 2017.09.12න් පසු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන විභාගාදියෙන්ද සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, මූත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – කොළ, ළා නිල් සුබ දවස් – බදාදා, සිකුරාදා

සුබ අංක – 05, 06

තුලා – අනපේක්ෂිත ලාභ

වෘත්තීය හා රැකීරක්ෂා කටයුතු යහපත්ය. විටෙක යම් යම් බාධා අවහිරතා ඇති වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. වෘත්තීය වශයෙන් ඇති කරන ගමන් බිමන් බහුලයි. විදේශගතවී කටයුතු කිරීමේ අවස්ථා උදාකරගත හැක. 2017.09.12 සිට විටින් විට ගැටලුකාරී තත්ත්වයන්ද ඉස්මතු වනු ඇත.

වර්ෂයේ මුල් භාගය තුළ ආර්ථික වශයෙන් සුබදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙනදේ. විටෙක අනපේක්ෂිත ලාභ ලබති. 2017.09.12න් පසු යම් යම් තීරණයන් තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවල කිසියම් වෙනස්කම් ඇතිකළ හැක.

ගෙදරදොර කටයුතු ක්‍රමයෙන් යහපත්ය. යුගදිවිය සම්බන්ධයෙන් සුබයි. සමගියට, සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු 2017.08.18 තෙක් එතරම්ම සුබදායක නොවේ. බාධා අවහිරතා සහිතය. 2017.08.18න් පසු දරුවන්ගේ කටයුතු ක්‍රමයෙන් යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. මංගල යෝජනා ඉදිරිපත් වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට 2017.08.18 තෙක් එතරම්ම සුබදායක නොවේ. විටෙක ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යයි. ඉන්පසු ක්‍රමයෙන් සුබදායකයි.

තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. ශරීරයට විෂබිජ ඇතුළු වීම, මූත්‍රා දෝෂාදිය, උදරාශ්‍රිත රෝගාදියට ඉඩ මතු කළ හැක.

සුබ වර්ණ – නිල්, කොළ

සුබ දවස් – කිවිදා, බදාදා සුබ අංක – 06, 08

කුම්භ – වැඩ කටයුතු සාර්ථක වේ

කේතු ලග්නයේද රාහු 7 සිටීම නම් එතරම් යහපත් නොවුණද 2017.08.18න් පසු ක්‍රමයෙන් සාර්ථක වේ. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.

වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී ස්ව උත්සාහයෙන් කරන කටයුතුවලින් ක්‍රමයෙන් කිසියම් දියුණුවක් ලබනු ඇත. 2017.06.21 සිට 2017.10.26 දක්වා කාලය තුළ එතරම්ම යහපත් නොවේ. බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ඉන්පසුව ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. 2017.09.12න් පසු විදේශගත වීම්වලටද සුබයි. උත්සාහය කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ.

ආර්ථික වශයෙන්ද, මූල්‍යමය වශයෙන්ද 2017.09.12 තෙක් කාලසීමාව තුළ එතරම්ම යහපත් නොවේ. ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි. 2017.09.12න් පසු කාලය ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න.

2017.08.18 තෙක් එතරම් යහපත් නොවේ. මහත් කරදරකාරී ජීවිතයක්ම වේ. වාද විවාදයන්ට ඉඩ මතුවේ. 2017.08.18න් පසු ක්‍රමයෙන් සාර්ථක වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුද 2017.09.12න් පසු සාර්ථක ප්‍රතිඵල උදාකරනු ඇත. ඔවුන්ගේ දියුණුවක් ගෙනදේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට 2017.09.12 තෙක්ම කාලය අයහපත්ය. ඉගෙනීමට පරිබාහිර දේවලට හිත යොමුවේ. ඉන්පසු සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා තහවුරු වේ. ශරීර සෞඛ්‍යය ගැන 2017.08.18 තෙක් කාලය එතරම්ම සුබදායක නොවේ. ඉන්පසුව යහපත් වනු ඇත.

සුබ වර්ණය – නිල්, කොළ

සුබ දවස් – කිවිදා, ශනිදා සුබ අංකය – 06, 05

කටක – මිශ්‍රපල

ලග්නාධිපති චන්ද්‍රයා පූර්ව පුණ්‍යස්ථානගතව සිටිමින් වර්ෂය ආරම්භ වේ. තරමක් බුද්ධිමත්වද, කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. විටෙක තමාගේ මතයේ සිට ක්‍රියා කිරීමට යෑම තුළ විටෙක අවහිරතා, පාඩු ඉස්මතු කළ හැකි නිසා තරමක් කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විටින් විට බාධා අවහිරතා ගැටලු ඉස්මතු විය හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. 2017.08.18 සිට ස්ථානගත වෙනස්කම්, රැකියා වෙනස්කම්වලට ඉඩ පවතී.

ධනස්ථානාධිපති රවි දිග්බලව උච්චව දහයේය. ආර්ථික වශයෙන් අයහපත් නෙවේ. තමාගේ වියදමට සරිලන ආදායමක් ලබනු ඇත. විටෙක ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න.

ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරීව ක්‍රියා නොකළහොත් සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. ගමන් බිමන් අධිකයි. ස්ථානගත වෙනස්කම් ඇතිවනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් 2017.06.11 සිට 2017.10.26 අතර කාලය තුළ ඉතාමත් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. තරුණ තරුණියන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවලදී හිතුවක්කාරී වීම තුළ මානසික වියවුල්කාරී තත්ත්වයන්ට පත්වීමේ ඉඩ පවතින නිසා හැඟීම්වලට වහල් වී කටයුතු කිරීමෙන් වළකින්න.

අධ්‍යාපන කටයුතුවලදී විටින් විට බාධා, ප්‍රමාදතා ඇතිකළ හැකි වුවත් ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ශරීර සෞඛ්‍යය ගැන බැලීමේදී අර්ශස් වැනි රෝග, මල බද්ධය, උෂ්ණාධික උදරගත පීඩා, මූත්‍රා දෝෂාදියෙන්ද ප්‍රවේශම් විය යුතුය.

සුබ වර්ණය – ක්‍රීම් පාට, රෝස පාට

සුබ දවස් – සඳුදා, ගුරුදා සුබ අංකය – 02, 07

වෘශ්චික – ව්‍යාපාර දියුණු වේ

ලග්නාධිපති කුජ හත්වැන්නේ සිටියදී වර්ෂය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී බාධා අවහිරතා මධ්‍යයේ වුවද කිසියම් දියුණුවක් ලබයි. කෙසේද වුවත් 2017.06.21 සිට 2017.10.26 දක්වා කාලය තුළ වෘත්තීය වශයෙන් තරමක් අවහිරතා, බාධා ඉස්මතු කරයි. ඉන්පසු ක්‍රමයෙන් යහපත් ප්‍රතිඵල ලබයි.

2017.09.12 තෙක් කාලය තුළ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. ලාභ ප්‍රයෝජන ලැබේ. ක්‍රමයෙන් දියුණුවක් ලබයි. කෙසේද වුවත් 2017.09.12න් පසු ආර්ථික සහ මූල්‍යමය වශයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි. මුදල් වියදම් අධික වේ.

ගෙදරදොර කටයුතුවලදී ද ඉතාමත්ම බුද්ධිමත්වද, විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගිය, සාමයට බාධා ඇතිකළ හැක. ඉඩම්, නිවාස, දේ‍පොළ සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න. රැවටීම්වලට ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. විදේශගතවීම්වලට කෙටි කාලීනව සුබයි.

අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක.

තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. වෛරස් රෝග, විෂබිජ ඇතුළු වීම, උෂ්ණාධික රෝග, මූත්‍රා රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න.

සුබ වර්ණ – රන්වන්, රෝස

සුබ දවස් – ගුරුදා, සඳුදා සුබ අංක – 03, 02

මීන – මිශ්‍රඵල

තම කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කරනු ඇත. එම නිසා හැම අංශයේම කටයුතු කිරීමේදී මුළු වර්ෂය පුරාම ඉතාමත් බුද්ධිමත්ව සහ විමසිලිමත්ව ක්‍රියා නොකළහොත් නොයෙකුත් කරදරකාරී වාතාවරණයක් උදාකරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී 2017.09.12 තෙක් කාලය තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවත් ප්‍රධානීන්ගේ අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. එසේද වුවත් 2017.09.12න් පසු වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. ස්ථානගත වෙනස්කම්, මාරුවීම් මෙන්ම තනතුරු අහිමිවීම් යනාදියට ඉඩ පවතී. ප්‍රවේශම් වන්න.

ආර්ථික සහ මූල්‍යමය වශයෙන්ද 2017.09.12 තෙක් කාලය යහපත්ය. ආර්ථිකය යහපත් වේ. එහෙත් 2017.09.12න් පසුව මේ සම්බන්ධයෙන්ද ඉතාමත් කල්පනාකාරී වන්න. මිල මුදල් අවභාවිතයට පත්වේ. වියදම් අධික වේ. මුදල් නාස්තිවීම් වේ.

ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන්ද 2017.09.12 තෙක් යහපත් වුවද ඉන්පසුව එතරම්ම සුබදායක නොවේ. අපවාද චෝදනා, ගෞරවයට හානිවීම් ඇතිවනු ඇත. එනිසා කල්පනාකාරී වන්න. සමගිය, සාමයට බාධා එල්ල වනු ඇත.

දරුවන්ගේ කටයුතු 2017.08.18 සිට අවුල් සහගත තත්ත්වයක් උදාකළ හැක. ඔවුන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා, අවහිරතා ඇතිවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ද 2017.08.18න් පසු අවුල් සහගත තත්ත්වයන් උදාකළ හැකි නිසා ඉතාමත් උනන්දුවෙන්ද, කැපවීමෙන්ද ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. හෘදගත පීඩා, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, ‍ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න.

සුබ වර්ණ – රන්වන්, රෝස
සුබ දවස් – කුජදා, ගුරුදා සුබ අංකය – 03, 02
මුලාශ්‍ර - රිවිර පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.