Mar 23

අංගොඩ ලොක්කාත් මාත් බස් රියට නැග සමයංට වෙඩි තිබ්බා බන්ටි පා‍පොච්චාරණය කරයි

සමයංගේ බෙල්ල කපන්න ගෙනා
මන්නය වෑන් රියේ අමතක වුණා

අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා.

යැයි ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් කළුතර වෙඩිතැබිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී පා‍පොච්චාරණය කර ඇත.

අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් හා බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ අවි ආයුධ සූදානම් කරගෙන බන්ධනාගාර බස් රථයට පහරදීමට යාමට පෙර මැදියම් රැයේ අංගොඩ ලොක්කා විසින් ආයුධ සන්නද්ධ කල්ලිය ප්‍රහාරයේ නියමුවා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී නමැති පාතාල සාමාජිකයා ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත.

පාතාල නායක සමයං ඇතුළු පාතාලයේ පස්දෙනකුට හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කළුතර එතනමඩල දී ඉකුත් පෙබරවාරි 27 දා බන්ධනාගාර බස් රථ දෙකකට ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන වෙඩික්කරුවකු වන බත්තරමුල්‍ලේ බන්ටි හෙවත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මැන්ඩිස් නමැති 24 හැවිරිදි පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පෙරේදා (21)ව රාත්‍රියේ භාර දී ඇත.

රටම කැලඹීමට පත් කළ මෙම ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයන් සොයා විශේෂ ‍පොලිස් කණ්ඩායම් ගණනාවක් විමර්ශන අරඹා තිබූ අතර ප්‍රහාරයෙන් දින විසිදෙකකට පසුව ප්‍රහාරයට සම්බන්ධ වූ පළමු සැකකරු අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට හැකි වී ඇත.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත ‍පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ ජු නියෝග මත අපරාධකරුවන් සොයා එහි බුද්ධී අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතාගේ යටතේ ඇති බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය හා උප ‍පොලිස් පරීක්ෂක කේ.එච්. සංගීත් යන නිලධාරීන් යොදවා කළ මෙහෙයුමක දී සැකකරු කොටුවී ඇත.

කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත.

මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්‍ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි වී ඇත.

පාතාල නායක සමයං විසින් දිගින් දිගටම අංගොඩ ලොක්කාගේ සාමාජිකයන්, අතුරුගිරියේ බාල්දි ප්‍රියන්තගේ සාමාජිකයන් හා මාකඳුරේ මධුෂ්ගේ සාමාජිකයන් ඝාතනය කරන්නට පටන් ගැනීම නිසා ඊට පළිගැනීමක් ලෙස මාස ගණනක සිට මෙම ප්‍රහාරයට සූදානම් වී ඇතැයි හෙළි වී ඇත.

ප්‍රහාරය සඳහා වෙනමම ජංගම දුරකථන ද මිලදී ගෙන වෙනමම කණ්ඩායමක් ප්‍රහාරය සඳහා යෙදවූ බවත් විමර්ශනවල දී හෙළිවන්නේය.

ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.

එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.

පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත.

අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.
සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.

කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය.

එහි දී බන්ධනාගාර බස් රථ දෙක හරස්කර තැඹිලි කපන මුවාවෙන් ගිය කැබ් රථය ඉලක්කය වෙත ආ විගස කඳුගැටවල සිට ප්‍රහාරය දිගටම එල්ල වෙද්දී ලොක්කා ඇතුළු පිරිස බස් රථයට නැගීමට ගොස් ඇත.

ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.

මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.

බන්ටි නුවරඑළියේ දී මුදල් පසුම්බිය නැතිවීම නිසා යළි මාතරට පැමිණ සෙල්ලකතරගමට පැමිණෙමින් සිටින බවට ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ කොටුකරගෙන ඇත.

බන්ටි සමග ගිය සෙසු පිරිස තැනින් තැන බැස ඇති බවත් ප්‍රහාරයට ගෙන ආ අවි ආයුධ සමග ලොක්කා හා ලඩියා වෑන් රථයෙන් පිටව ගිය පසු තොරතුරක් නොමැති බවත් බන්ටි හෙළිකර ඇත.

අදාළ වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමාගොස් තිබූ අතර මෙම ප්‍රහාරයෙන් පසුව ලොක්කා ඇතුළු පිරිසක් බෝට්ටුවකින් ඉන්දියාවේ සිටි තෙල්බාලාගේ බෝඩරය වෙත ගොස් එතැනින් ජාත්‍යන්තර මුහුද ඔස්සේ වෙනත් රටකට පැනගිය බව අනාවරණය වී ඇත.

2010 දී අපරාධ ලෝකයට ප්‍රවිශ්ට වී ඇති අල්ලාගත් සැකකරු වන බන්ටි 2012 දී ගමේ ඇති වූ ගැටුමක දී රුවන් නමැති අයකු ඝාතනය කර සිරගත වී ඇති බවත් යළිත් බත්තරමුල්‍ලේ වෙඩි තැබිමකට බන්ධනාගාරගත වූ පසුව අංගොඩ ලොක්කා කල්ලිය සමග සබඳකම් පවත්වා ඇති බවත් හෙළි වී ඇත.

මෙම ප්‍රහාරයට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියට අයත් ගිනි අවි හතක් හා ප්‍රහාරයට පැමිණි සෙසු සාමාජිකයන් සොයා මෙහෙයුම් අරඹා ඇතැයි ‍පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ‘රිවිර’ පුවත්පත කළ විමසුමක දී පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසය අල්ලාගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.