Jan 15

විමල්ගෙ බිරිය සෑරට අහපු ලොකු ලොකු ප්‍රශ්ණ වලට රටට උත්තර දෙයි

අපි ටිකක් අතීතයෙන්ම පටන් ගමු. ඔබට කොහොමද විමල් වීරවංශ මන්ත්‍රිතුමා මුණගැසුණේ…?

එයා 1994 දේශපාලනයට එනවනේ. අනූ හතරේ නෙවෙයි එයා ඊට ඉස්සරවෙලා දේශපාලනයේ ඉඳලා තියෙනවා. 94 අවුරුද්දෙ තමයි මට එයා මුණ ගැහෙන්නේ. මගේ සහෝදරයෙක් එක්ක ගෙදර ආවා.


කවුද ඔබේ සහෝදරයා…?

අජිත් කුමාර. එයත් එක්ක ගෙදර ඇවිත් තමා මට හම්බ වෙන්නේ. නිතර නිතර දේශපාලන වැඩවලට තමයි ආවේ ගියේ.

ඒ කාලෙද ඔබ අර නියෝජිත තැපැල්හලක් (ඒජන්සි පෝස්ට් ඔෆිස්) පවත්වාගෙන ගියේ…?

ඔව්. ඒ කාලේ තමයි ආරම්භ කරලා තිබුණේ. අපි 1996 තමයි විවාහ වුණේ.

මොන මාසෙද…?

මාර්තු මාසේ

මට හිතෙනවා මේ ඉන්ටවීව් එකට ඒවා අවශ්‍යද කියලා.

නෑ… නෑ… එහෙම හාරා ඇවිස්සීමකට නෙවෙයි. ආරම්භයක් අවශ්‍යයිනේ. අපි වත්මන් සිදුවීමට, දේශපාලනයට එනවා?

මොකද මේ… මේ මිනිසුන්ට අවශ්‍ය ටික දෙමුද මේ වෙලාවේ. හරිම තීරණාත්මක මොහොතක ඉන්න වෙලාවක් මේක.

ඔබ මේ මුල් වරට පුවත්පතකට කතා කරන්නේ. ඒ හින්දයි ටිකක් අතීතය ගැන ඇහුවේ…?

ඔව්… ඔව්… මට තේරෙනවා…

ඒ කාලේ විමල් වීරවංශ නෙවෙයි නේද නම…? විමලසිරි ගම්ලත් කියලනේ භාවිත කළේ…?

විමල් වීරවංශ තමයි නම. හැබැයි ඒ ගොල්ලෝ පුවත්පත්වලට ලියන කොට අන්වර්ථ නාමවලින් පෙනී හිටියනේ.මතකද වැඩ කරපු පත්තර…?

මට එහෙම ලොකු මතකයක් නෑ. හිරු පත්තරේ හිටියා කියලා මං දන්නවා.

1994 සිට මේ දක්වා 2017 වෙනකම් ඔබ විමල් වීරවංශ දේශපාලනඥයාගේ ජීවිතයේ හෙවණැල්ල වගේ හිටියා..?

ඔව්, ඉතින් මේ වෙනකල් ඉන්නවා. තාම ඉන්නවා.

ඔබේ නම ශෂී වීරවංශ නෙවෙයි නේද…?

මට ශෂී කියල තමයි ගෙදරයි, යාළුවොයි ඔක්කොම කතා කරන්නේ. වීරවංශ වුණේ බැන්දට පස්සේ. මං උදයන්ති.

උදයන්ති රණසිංහ…?

රන්දුණු කියලා කෑල්ලක් තියෙනවා. රන්දුණු මුදියන්සේලාගේ උදයන්ති රණසිංහ.

ඔබේ සැමියා මහින්ද රාජපක්‍ෂ රජයේ ඇමැති කෙනෙක් බවට පත් වෙන්නේ. ඊට කලින් හිටියේ විප්ලවකාරී දේශපාලන පක්‍ෂයක…?

ඔව්, එතකොට ඒ කාලේ ගැන නම් ලියන්නම ඕනෑ කාලයක්. අපි බඳින කාලේ ඉඳලම මේ රටේ යුද්දෙ තිබුණා. එතකොට යුද්දෙත් එක්ක මේ ගොල්ලො එක එක දේශපාලන තීන්දු තීරණ ගන්න කොට ඒවා තුළ අපිත් හිටියා. මං හිටියා මගේ දරුවෝ හිටියා. යුද්දේ දිනන කොට මේ රටේ ජනතාව හිටපු ජනාධිපතිතුමාට, මගේ මහත්තයට, ඉදිරිපෙළ සියලු නායකයන්ට ගරු කරන කොට ඒවාට ආශීර්වාද කරන කොට ඒ යුද්දෙ තිබුණු කාලේ මේක දිනා දෙන්න මේගොල්ල ඉස්සරහට එනකොට අපි ගෙවල් ඇතුළේ ඉඳලා කරපු කැපකිරීම්, විඳවපු දේවල් ටිකකුත් තිබුණා. ඒවා ඇත්තටම මේ රටේ මිනිස්සු දන්නේ නැතිව ඇති.

මොන වගේ කැප කිරීම් ගැනද ඔබ කියන්නේ…?

මේ පසුගිය කාලේ මාව දේශපාලන පෙරළියත් එක්ක එක එක තැන්වලට ගෙන්නුවනේ. අල්ලස් එකට ගෙන්නනවා. ජ්.ඛ්.ධ්.ච්. ගෙන්නනවා. ඒ ගිය එක තැනකදී මම ඒ නිලධාරීන්ගෙන් ඇහුවා… ඇත්තටම මට ඇඬුණා ඒ වෙලාවේ…

මොනවද ඇහුවේ…?

අතීතයේ යුද්දෙ තිබුණු කාලේ මගේ ලොකු දරුවා 2007 වෙන කොට හිටියේ මට මතක විදියට පහේ හෝ හය වසරේ.

ආනන්ද විද්‍යාලයේ…?

ඔව්.. මම ජ්.ඛ්.ධ්.ච්. එකේ අයට කිව්වා ඔය ගොල්ලෝ මගේ දරුවා ඒ කාලේ ඉස්කෝලෙ ගිය දින ගණන චෙක් කරන්න කියලා. මොකද එක්තරා දිනක මම අහනවා යුද්දෙ දරුණුම කාලේ 2006දී වගේ හදිසියේ හරි ත්‍රස්තවාදීන් දරුවා පැහැරගෙන යුද්ධය නතර කරන්න වගේ ඉල්ලීමක් කළොත් මොකද්ද ගන්න පියවර කියලා. මොකක්ද ගන්න තීරණය කියලා.

එතකොට මොකක්ද ඔබේ සැමියා කිව්වේ…?

එතකොට එයා කිව්වා මගේ එක දරුවෙක් වෙනුවෙන් විතරක් අපට දේශපාලන තීරණ තීන්දු ගන්න බෑ කියලා.

මේ රටේ ලක්‍ෂ ගණනක දරුවන් වෙනුවෙන් අපි තීරණ ගන්න ඕනෑ කියලා. එතකොට මට මගේ දරුවා වෙනුවෙන් විතරක් තීන්දු ගන්න එතකොට බැරිවෙයි කියලා. මගේ මහත්තයා රට ගැන හිතලා දේශ හිතෛෂියෙක් හැටියට ඒ උත්තරය දුන්නට මට අම්මා කෙනෙක් හැටියට ඒ උත්තරය වලංගු වුණේ නෑ. ඒ උත්තරෙත් එක්ක මම තීරණය කරනවා දරුවා ඉස්කෝලේ යවන්නේ නෑ කියලා. අද යැව්වොත් ආයේ සතියක් ගෙදර තියා ගන්නවා.

ඇයි එහෙම තියා ගත්තේ…?

මට හිතෙනවා… මට හිතෙනවා මට එක එක බය දැනෙනවා. මේ අය එක එක තීන්දු තීරණ ගන්නවා. යුද්දෙ දිනනවා කියනවා. එල්.ටී.ටී.ඊ. එකට විරුද්ධව දරුණු වාග් ප්‍රහාර දෙනවා. එතකොට මම හිතුවා මුල් පෙළේ නායකයෙක් හැටියට අපිව ඉලක්ක කරගෙන ඉන්නෙ කියලා.

එතකොට මගේ දරුවා ඉස්කෝලෙ යන්නේ වාහන දෙක තුනක. එකක යන්නේ නෑ. එකහමාරට පාසල් ඇරිලා එක පාරට දරුවා ගෙදර ගේන්නේ නෑ. එක එක තැන්වලට බස්සල ඒ තැන්වලට මම ගිහිල්ලා එහෙම තමයි දරුවා ගෙදර එන්නේ. අපි හිටියේ රහසිගතව. මෙයා යන එනකොට අපිව දැනගන්න නිසා වෙන අයගේ නම්වලට ගෙවල් අරගෙන හිටපු කාලයක් තිබුණා. මගේ ළමයින්ට සෙල්ලම් කරන්නවත් එළිපහළියට යන්න නිදහසක් තිබුණේ නෑ. අනිත් ළමයි සෙල්ලම් කරන දිහා ගේට්ටුව අස්සෙන් බලාගෙන හිටියේ. හිතනවා ඇති ගෙවල්වල අපි කාලා බීලා හිටියා කියලා. යුද්දෙ කාලේ අපි කැපවුණේ ඒ විදියටයි.

මේ යුද්දෙ දිනා දෙන්න, මහත්තයා ආරක්‍ෂා කර ගන්න මේ දරුවෝ අපි කැප කිරීම් සියල්ල කළා. මහත්තයත් එක්ක අපි ගමනක් බිමනක් ගියේ නෑ. ප්‍රසිද්ධ තැන්වලට ගියේ නෑ. මාධ්‍ය ඉස්සරහට ගියේ නෑ. ඒ ආවෙ නැත්තේ ගියේ නැත්තේ ආරක්‍ෂාව පිළිබඳ විශාල ප්‍රශ්න අපට තිබුණු නිසයි.

ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවද අපිව මෙහෙම ගෙනැල්ලා ප්‍රශ්න කරන්න කියලා මම ඒ නිලධාරීන්ගෙන් ඇහුවා.

හොඳයි… ඔබේ සැමියා විප්ලවවාදී පක්‍ෂයක කලින් හිටියා. ඒ පක්‍ෂයේ අය විවිධ කාල වකවානුවල හිරේ විලංගුවේ හිටියා. පොලිස් අත්අඩංගුවට පත්වුණා. නමුත් ඒ කාලේ ඔබේ සැමියාට එහෙම සිද්ධ වුණේ නැහැ…?

යම් යම් ප්‍රශ්න ආවා. හිරේ වැටුණේ නම් නැහැ.

මේ සතිය ආරම්භයේ ඔහු පළමුවැනි වතාවට රිමාන්ඩ් භාරයට පත් වුණා. මොකද්ද ඔබට ඒ මොහොතේ හිතුණේ…?

මට හිතුණේ ඉතින් මෙයාලා දේශපාලනය කළේ, මම දන්න දෙයක් තියෙනවා මවුබිමට සැබැවින්ම ආදරය කරන දේශපාලනඥයෝ සුළු ප්‍රමාණයයි. එහෙම කෙනෙක් හැටියට මගේ මහත්තයා ගැන දන්න දෙයක් තියෙනවා. මගේ මහත්තයාගේ නමින් මේ රටේ කිසිම දේපොළක් නෑ. අද වනතුරුත් නෑ…

අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු…?

ඒ හින්ද මම හිතන්නේ නොවෙන්න තිබුණු දෙයක් වුණා කියලා. මේක වෙන්න තිබුණු දෙයක් නෙවෙයි. මේක යම් යම් දේශපාලන කුමන්ත්‍රණවලින් සිද්ධ වුණු දෙයක් මිස වෙන්න තිබුණු දෙයක් නොවේ. ජීවිත කාලය පුරා එයා සුපිරිසුදු දේශපාලනයක් කළේ. මේ දේ වෙන්න තිබුණාය කියලා මට කිසිවිටෙක හිතෙන්නේ නෑ.
ශෂී වීරවංශ කියන නම, විමල් වීරවංශගේ භාර්යාව හැටියට එක්තරා කාලෙක බොහෝ ජනගත වූවා. අර කැබිලිත්තේ දේවාලේ ගිහින් අතරමං වෙලා…?

එකත් ඉතින් මං කැබිලිත්තේ ගිය එක විශේෂ සිදුවීමක් වෙන්නේ නැහැනේ. මං විතරක්ද යන්නේ, ගොඩක් අය යනවනේ.

විශේෂ ඉල්ලීමකටද ගියේ…?

ඒක මම ගියේ ඒ කාලේ මම අවුරුදු දහයක් විතර නිර්මාංසව හිටියේ. දැන් තමයි ඔය මාළු කෑල්ලක් හරි කන්නේ. මම එළවළුයි බතුයි කෑවේ. එහෙම හිටපු කාලෙක තමයි මට හිතුණේ හැමෝම කියන හින්ද දරුවොත් එක්ක ගිහින් බලන්න ඕනෑ කියලා.

අතරමං වුණාද…?

එහෙම අතරමං වීමක් වුණේ නැහැනේ. සිද්ධ වුණේ යනකොට වැස්ස තිබුණෙ නෑ. එනකොට වැස්සා. එන්න බැරිකමක් තිබුණේ. මාධ්‍යවල ගියේ අතරමං වුණා කියලා.

ඔබේ සැමියා අද රිමාන්ඩ් ගත වෙලා. මීටත් වඩා ඔබ කම්පනයට පත් දිනයක්ද ඔබේ සැමියා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට උපවාසයක යෙදුණු අවස්ථාව. හිටපු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් තැඹිලි පොවලා ඔබේ සැමියාව ප්‍රකෘති තත්ත්වයට ගත්තේ…? එදා සහ අද මුහුණ දුන්නේ කොහොමද?

ඔය දෙකේදීම මමයි දරුවොයි තමයි පීඩනයට පත් වුණේ. දුව හරියට හඬා වැටෙනවා. සමහර තැන්වලදී එයාට අම්මා තාත්තට මොනවා හරි වුණා කිව්වම වේදනාවයි. මගේ දරුවෝ දෙන්නා ගොඩක් සංවේදියි. මේ දෙන්න පාලනය කිරීමත් එක්ක මම ඒ දේවල් දරා ගත්තා. මට දරා ගන්න සිද්ධ වුණා. මගේ හිතට දැනෙන හැමදේම හෙළිකරන්න බැරි කෙනෙක් මම. දරුවන්ගේ සංවේදීකම, ඒ ගොල්ලන්ගේ ආරක්‍ෂාව, ඒගොල්ලන්ව පාලනය කිරීම මගේ අතේ තියෙන්නේ. මේ අවස්ථා දෙකම කම්පනයට පත්වුණු අවස්ථා දෙකක් තමයි. හැබැයි ඉතින් මං ඒ දෙකම දරා ගත්තා. අපි මේවට මුහුණ දෙන්න ඕනනේ. ඒක මං දැනගෙන හිටියා.

ඔබ කැමැත්ත දුන්නද උපවාස කරන්න කියලා…?

නෑ… නෑ… ඇත්තමට කිව්වොත් මගෙන් අහලා දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි එයා. එයාලගෙ දේශපාලනය තුළ අපි බලාගෙන ඉන්නවා මිසක් ගෙවල්වල අඹු දරුවන්ගෙන් අහලා දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි එයා.

නෑ… ඒ උපවාසයෙන් පස්සේ ඔබ කිව්වේ නැද්ද මෙවැනි අවදානම් වැඩ කරන්න එපා කියලා…?

නෑ… මං කවදාවත් කිව්වේ නෑ. මොකද ඒ කරන කාර්යය වැරැදි නම් තමයි කියන්න ඕනෑ. වැරැදිලා නෑ. එහෙම කියන්න හේතු ඇති වෙලා නෑ.

2016දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) දෙකක් ළඟ තබාගත්තා කියලා සිද්ධියක් ඇති වුණා නේද…?
මං සම්බන්ධයෙන්ද…? ඒක වැරැදි තොරතුරක්. කවුරු හරි පැමිණිල්ලක් දාලා… මට…

විමල් වීරවංශ මන්ත්‍රිවරයාටත් එවැනි චෝදනාවක් ආවා…

ඒකත් බොරු දෙයක්නේ. වැඩේ වෙලා තියෙන්නේ වීසා එක ගහලා තියෙන්නේ අලුත් එක නැතිවෙලා පරණ එකක්, අහෝසි කරපු එකක් හම්බවෙලා වීසා එකක් ගහලා. ඒක කවුරු හරි මෙයා ළඟ ඉන්න කෙනෙක් අතින් වෙච්ච දෙයක්. ඒක ගමන් බලපත්‍ර දෙකක් තිබුණු සිද්ධියක් නෙවෙයි. ඒක ඉදිරියේදී උසාවිය නිවැරැදි කර ගනියි.

තාම නඩුව යනවා…?

ඔව්, තාම නඩුව යනවා. මේ ආණ්ඩුව තියෙනකම්ම යයි මගේ හිතේ. නිවැරැදි වුණොත් අවුලක්නේ ඒක නිසා.
මෑත භාගයේ විමල් මන්ත්‍රිතුමාගේ සොහොයුරා සරත් වීරවංශත් මේ චෝදනාව යටතේම අත්අඩංගුවට පත් වුණා නේද…?

වාහන අවභාවිතාව කියලනේ දාන්නේ. එයාවත් ගත්තා.

එතැනදී විමල් මන්ත්‍රිතුමාගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද…?

නෑ… එයාට ඉතින් මේවට කියන්න දේවල් නැහැනේ. දන්නවනේ මේවයේ හැටි. අත්අඩංගුවට අරන්නේ නඩු අහන්නේ… එතකොට අපි දන්නවා නඩුවකදී කිසිදාක ඔප්පු නොවන, වැරැදිකරුවෝ නොවන ප්‍රශ්නවලට තමයි මේ ගන්නේ කියන එක අපි මුලින්ම දන්නවා.

මුලින් අත්අඩංගුවට ගන්නේ නැතිව නඩු අහන්න බෑ නේද…?

නෑ… නෑ… මේගොල්ල කරන්නේ අත්අඩංගුවට අරගෙන දාලා ඉවර වෙලා නඩුවක් හදන එකනේ. ඇයි අත්අඩංගුවට ගන්නේ නැතිව නඩු අහන්න බෑ කියලා කියන්නේ… වැරැදිකරුවෝ වෙන්න ඉස්සර වෙලා දඬුවම දෙනවා. ඒකනේ දැන් සිද්ධිය. නඩුව අහලා නිවැරැදි වෙනකොට දඬුවම දීලා ඉවරයි.

දඬුවම දීලා ඉවරයි කියන එකෙන් මොකක්ද ඔබ අදහස් කරන්නේ. රිමාන්ඩ් ගත කරන එකද…?

ඒක දඬුවමක්නේ. දාන අය හිතන්නේ රිමාන්ඩ් කිරීම දඬුවමක් කියලා. දඬුවමක් නෙවෙයි. දැන් නම් මම නම් හිතන්නේ අපේ මේ දේශපාලකයන්ට මිනිස්සුන්ගේ ආදරය වැඩිවෙන තැනට පත්වෙලා තියෙනවා දැන් මේ ඇතුළට යන එක. මොකද දන්නවා මේ දාන්නේ හේතු සහගත නැතිව කියලා.

ඔව්. ඒකත් පොඩි ප්‍රශ්නයක් තමයි නේද…? විමල් වීරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට පත් වෙනවා කියන එක ඊට දින දෙකකට කලින් සමාජ ගත වුණා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාත් ඒක කිව්වා. මේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ තොරතුරු එළියට ගිහිල්ලා නේද…?

නෑ… නෑ… ඒකේ තොරතුරු එළියට යෑමක් නෙවෙයි වුණේ. ඔයගොල්ලන්ගේ මාධ්‍ය මෙතැනට ආවේ නැති වුණාට මේ ගෙදර ළඟ මාධ්‍ය පිරිලා හිටියා දවස් තුනකට කලින්. එතකොට අපි ඇහුවා ඒගොල්ලන්ගෙන් මොකක්ද මේ කියලා. එතකොට ඒ කෙනෙක් තමයි අපේ කෙනකුට කියලා තිබ්බේ අද මේ අහවලාව ගන්නවා කියලා. මාධ්‍ය අපේ ගේ ළඟ ඇවිල්ලා හිටියා. මමවත් දැනගෙන හිටියේ නෑ. එතකොට තමයි අපි කතා වුණේ ළඟදීම ගන්න හිතාගෙන ඇතියි කියලා. එතැනින් තමයි මේක එළියට එන්නේ. එහෙම නැතිව ඇතුළෙන් කවුරුහරි අපි එක්ක සම්බන්ධයක් තියාගෙන කියලා නෙවෙයි.

ඔබේ සැමියා අමාත්‍ය ධුරය දරද්දී ඒ කාලේ ලොකු කතාබහක් ගියා නේද අර ඉන්දීය ගායක සෝනු නිගම් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශයේ මුදල් වැය කළා කියලා…? ඔබ ඒ ගැන මුකුත් දන්නවද…?

නෑ… මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ. සෝනු නිගම් ගේන එක ගැන මම දන්නවා. මම හුඟක් කලා කටයුතුවලට සම්බන්ධ කෙනෙක් හින්දා අමාත්‍යාංශයෙන් මොනව හරි අනුග්‍රහයක් කළාද කියන එක මම දන්නේ නැහැ.

ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් නේද…?

නෑ… මම ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් නෙවෙයි…

එහෙනම්…?

මම කතාව ලිව්වා. ඒවාට වෙන වෙන කලාත්මක පැතිවලින් දායකත්වය දැරුවා. සින්දු ලිව්වා. තේමා ගීත ලිව්වා. ඒ ඇරෙන්න නිෂ්පාදිකාවක් වෙලා නෑ.

ඊයේ පෙරේදා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වේ විමල් වීරවංශ පමණක් අත්අඩංගුවට අරන් හරියන්නේ නෑ. එහෙමනම් හිටපු සභාපති, ලේකම් ගන්න ඕනෑ. මෙහම කතන්දරයක් තමයි කිව්වේ.

ඒක හරිනේ ඉතින්.

අත්අඩංගුවට ගැනීම වැරදියි කිව්වේ නෑ… එයා කිව්වේ ආශු මාරසිංහත් ගන්න.. අනිත් අයත් ගන්න කියන එකයි.

නෑ. ඒක එක පැත්තකින් ගන්න එක වැරදියි කියලා තමයි කියන්නේ. මෙයාව අත්අඩංගුවට ගන්නවා නම් අර කට්ටිය ඊට ඉස්සරවෙලා ගන්න ඕනෑ කියන එකනේ කියන්නේ. ඒකෙ තේරුම මේ අත්අඩංගුවට ගැනීම හරියි කියන එක නෙවෙයි. මේකත් වැරදියි. හැබැයි මේක හරිනම් අරක ඊට ඉස්සරවෙලා අත්අඩංගුවට ගන්න ඕනෑ කියන එකයි ඒකෙ තේරුම.

රිද්මි විමුක්ති වීරවංශ කියන්නේ කවුද..?

විමුක්ති වීරවංශ කියලා ඉන්නවා මෙයාගේ අක්කගෙ දරුවෙක් ඉන්නවා.

ඉෂිකා නදී පෙරේරා කියන්නේ..?

ඉෂිකා

ඔව් ඉෂිකා..?

ඉෂිකා කියන්නේ මෙයාගේ සෙකටි්‍ර කෙනෙක්.

මේ නම් අර වාහන දුන්නැයි කියන ලැයිස්තුවේ තිබුණා..?

ඒ ගැන මං දන්නේ නෑ. අමාත්‍යාංශයේ වැඩ ගැන මං දන්නේ නෑ.

වීරවංශ මන්ත්‍රිතුමාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා වීරවංශ මන්ත්‍රිතුමාගේ ඥාතීන් සිය ගණනක් ස්වේච්ඡාවෙන් අමාත්‍යාංශයේ සේවය කළා. ඒ නිසා අවශ්‍ය වෙලාවට සුදුසු පරිදි ප්‍රවාහන පහසුකම් දුන්නා කියලා..?

මං ඒක දන්නේ නෑ. ඇත්තටම අමාත්‍යාංශයේ දේවල් ගැන මගෙන් අහලා වැඩක් නෑ. අවුරුදු පහක් මහත්තයා මිනිස්ටර් වෙලා හිටියා. එකම එක දවසක්වත් ඔය අමාත්‍යාංශයකට, කන්තෝරුවකට ගොඩනොවුණු කෙනෙක් මම. කිසිම දවසක ගිහින් නැහැ. ඒ නිසා මම නිලධාරීන් අඳුනන්නේ නැහැ. යම් යම් කටයුතුවලට ගෙදරට එන දෙතුන් දෙනා හැරෙන්නට මං ඔය කිසිම කෙනෙක් අඳුනන්නේ නැති නිසා ඔය අමාත්‍යංශයේ සිද්ධවෙච්ච දේවල් ගැන මොනවත්ම දන්නේ නැහැ. මම මගේ දරුවෝ දෙන්නගෙ කටයුතු සහ මගේ වෙනත් ව්‍යාපාර කටයුතු ගැන හොයලා බලන්න තිබුණු නිසා ඕවා ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ.
ඔබ පුවත්පත් බලනවාද..?

ඔව් බලනවා.

පුවත්පත්වල පළවුණා ඔබේ සැමියා අමාත්‍ය ධුරය දරන කාලයේ මත්තේගොඩ, කහතුඩුව පැතිවල ඉදිකරපු නිවාස එයාගෙ ඥාතීන්ට අඩු මිලකට ලබාදුන්නා කියලා. ඔබ ඒ ගැන දැනුවත්ද..?

මම දැක්කා දාලා තියෙනවා පත්තරවල.

එපමණයිද..?

ඔව්. මම දැක්කා දාලා තියෙනවා.

ඔබ ඇහුවේ නැද්ද මොකක්ද මේ කතන්දරය කියලා..?

නෑ…සමහර විට ඥාති වෙන කෙනෙක් ගෙයක් ඉල්ලපුවම එයාට සල්ලි දෙනව නම් ඒ නියමිත මිල ගෙවනව නම් එයාලට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඥාතිකම හේතුවක් වෙන්නේ නෑ නොදී ඉන්න. එහෙම දුන්නද නැද්ද කියන එක මම දන්නේ නෑ. එයාගෙ ඥාතිකම ගෙයක් නීත්‍යනුකූලව ලබාගන්න බැරි වෙන හේතුවක් නෙවෙයිනේ.

මේ ප්‍රදේශයේ නගරාධිපති බුද්ධදාස මහත්තයා කියනවා විමල් වීරවංශ හිටපු ඇමැතිතුමාට පානදුරේ අක්කර දහතුනක ඉඩමක කාමර විසිපහක හෝටලයක් ඉදිකරනවා කියලා. එහෙම චෝදනා කළා. මාධ්‍යයට කිව්වා.. ඒවා සත්‍යයෙන් තොරයිද..?

සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි. සම්පූර්ණයෙන්ම බොරු. මේ වෙනකොටත් ඔප්පුවෙලා ඉවරයි ඒවා තනිකර බොරු කියලා.

කඩුවෙල මහ නගර සභා මැතිවරණයේදී විමල් වීරවංශ හිටපු ඇමැතිතුමා මැතිවරණ නීති උල්ලංඝනය කළා. ග්‍රාම නිලධාරීන්ට ජංගම දුරකතන තෑගි දුන්නා. මේ ආදී චෝදනා කරලා මැතිවරණ කොමසාරිස්ට ලියුම් පවා යවලා තිබුණා..?

ඔව් මං ඒවා පත්තරවලින් දකිනවා හැරෙන්නට ඕව ඇත්තද නැත්තද මොනවත් දන්නේ නෑ. හේතුව මම ඕවා ගැන මගේ මහත්තයා ගෙදර ඉන්න සීමිත වෙලාව අතරතුර දේශපාලන තොරතුරු අහ අහ ඉන්න බිරියක් නෙවේ. එයා ගෙදර එනකොට ඕවා ගැන අහලා එයාට මානසිකව වධයක් වෙනවනේ. ඒ හින්ද ඔය වෙච්ච දේවල් ගැන මම දන්නෙ නෑ.

දැන් අපේ රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විමල් වීරවංශ දක්ෂ කථිකයෙක් හැටියට ප්‍රකටයි. ඔහු දේශපාලන පක්ෂයක නායකයෙක්. පක්ෂ නායකයකුට යම්කිසි විනයක් තිබිය යුතුයි. තවත් පක්ෂ නායකයකුට “ආප්පයා”, “සිරිසේනයෝ” කියලා කතා කරන එක හරියි කියලා ඔබ හිතනවද..?
මේකයි. මට එයාගෙ දේශපාලන භාවිතය ගැන විවේචනය කරන්න මට ඇති අයිතියකුත් නෑ. එහෙම විවේචනය කරන්න මට ඇති කැමැත්තකුත් නෑ. මට ඒක ඇති වැඩකුත් නෑ. එයාගෙ ගමන ඒක. ඒවා ගැන ඔයා මගෙන් අහලා වැඩකුත් නෑ.

විමල් වීරවංශ ඔබේ සැමියා රිමාන්ඩ් එකේදි පෝය දවසෙ සිල් ගත්තා. සාමාන්‍යයෙන් ඔහු පෝය දවසට සිල් ගන්නවද..?

ඉස්කෝලෙ යන කාලෙ සිල් අරන් තියෙනවා කියලා අද කිව්වා දැන් මම බලන්න ගියාම.
ඒ කියන්නේ මීට කලින් සිල් අරන් නෑ..?

බැන්දට පස්සෙ සිල් අරන් නෑ.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට පත්වුණු වෙලාවේ එතැනදි ඥාති දියණියකට නිලධාරීන් පහරදුන්නා කියලා කතාවක් තියෙනවා..?

මම ඇත්තටම ඥාති දියණියක් එතැනට ආවද දැක්කෙත් නෑ. එයාගෙ කවුරුත් නෙවෙයි. ඊට පස්සේ මම නිවුස් එක දැක්කා. එයාගෙ ඥාතියෙක් නෙවෙයි මට ඥාති වෙන කෙනෙක්. එයා එතෙන්ට ආපු බවවත් ඒ සිද්ධියවත් මම දැක්කේ නෑ. තාම මට කතා කරගන්නවත් බැරි වුණා. ඒ හින්දා මොකක් වුණාද කියන එක මම දන්නේ නෑ.

මියුරු භාෂිත ලියනගේ කියලා කෙනෙක් අඳුනනවද..?

මම අඳුනනවා ඒ කාලේ.

මේ අත්අඩංගුවට ගැනීම සිදුවුණු වෙලාවේ මේ සෙනඟ පිරිස ගෙන ආවය කියලා මාධ්‍ය ජාලවල පළවෙලා තියෙනවා. ඔබ මේ ගැන මොකුත් දන්නවද..?

නෑ.. මං ඒ ගැන මොකුත් දන්නේ නෑ. මං දන්නේ නෑ.

ඒ අත්අඩංගුවට පත්වෙන වෙලාවේ කෑමොර දෙන්න, හයියෙන් අඬන්න කාන්තාවන් කුලියට ගෙන ආවයි කියලා වෙබ් අඩවිවල යනවා..

වෙබ් අඩවිවල යන දේවල් මේ රටේ ජනතාව තාමත් පිළිගන්නවා කියලා හිතනවද..? වෙබ් අඩවිවල තියෙන දේවල් ජනතාව කිසිසේත්ම පිළිගන්නේ නෑ.

ඔබත්, නීතිඥවරුනුත් උසාවියෙන් කාරුණික ඉල්ලීමක් ඉල්ලා තිබුණා දියණියගේ අධ්‍යාපන කටයුතු නිසා ඇප ලබාදෙන්න කියලා..?

මගේ දුව ඔයිට ඉස්සර වෙලා තාත්තා උපවාස කරනකොටත් මෙයා හරියට අවුල් වුණා. පුතා කොහොමහරි ඒක දරාගන්නවා. ඔය මගේ පුතා. උසස් පෙළ කළා. මේ ආණ්ඩුව 2015 ආවත් හරි මගේ පුතා උසස් පෙළ කළේ අවුරුදු දෙකම ඉස්කෝලෙ නොගිහින් තමා උසස් පෙළ කළේ. ඉස්කෝලෙ නොගියා කියන්නේ වෙනම ඉගෙන ගෙන තමයි විභාගෙ ඉල්ලුවේ. ගෙදර තමා වැඩියෙන්ම හිටියේ.

ඇයි එහෙම වුණේ..?

එහෙම වුණේ ආණ්ඩු පෙරළිච්ච ගමන් එතැනට එනවනේ ඔය දේශපාලනඥයන්ගේ, මේජර්ලගේ දරුවෝ අරගෙන මෙහෙ එනවනේ අලුත් ආණ්ඩුවේ. මේගොල්ලන්ට පාට් දාන්න ගත්තා. ඊට පස්සේ ගෙදර තියාගෙන මම ඉගැන්නුවේ.

මගේ දුව, මේ දරුවා ඔය වෙන හැම කම්පනයකදීම ඉස්කෝලෙ යන්නේ නෑ. තාත්තට මොනවා හරි වෙයි කියලා බයයි. එදා මාධ්‍යවේදියො මෙතැන ඇවිල්ලා හිටපු දවසෙ ඉඳන් මෙයා කියනවා “අම්මේ ඉස්කෝලෙ යන්න බෑ. මගෙ තාත්තා ගෙනියයි” කියලා. එතකොට එයා දැක්කා අම්මා ගෙනියනවා. තාත්තා ගෙනියනවා දැක්කා. මේ දරුවෝ හඬා වැලපෙනවා. රෑට නිදා ගන්නේ නෑ.

ඔබ කිහිපවතාවක් ප්‍රශ්න කිරීම්වලට භාජන වුණේ ඇයි..?

මට පාස්පෝට් දෙකක් තියෙනවා කියලනේ. එතකොට දැන් ඒ නඩුවත් යනවා. මේ ළමයි හැමදාම උසාවිවලයි, පොලිසිවලයි ඉන්නේ.

ඔබේ සොහොයුරියද තනූජා නිශාන්ති කියන්නේ..?
ඔව්.

එයාගෙ ස්වාමියා ආනන්ද අශෝක කුමාර..?

ඔව්.

ඔහුගේ නමත් තියෙනවා වාහන ලබාදුන්නා කියලා..?

ඒක ගැන ඇත්තටම මම දන්නෙ නෑ. මොකක්ද කියලා දන්නෙ නැහැනේ. මට ඒක ගැන කතා කරන්න බැහැ.
ඔබලාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් කිව්වනේ ඥාතීන් ඇමැතිතුමා ළඟ සේවය කළා කියලා..
එයා දේශපාලනයේ නිරත වෙනවා. මං ඔය වාහන එයාට දීම ගැන දන්නේ නෑ. මුසම්මිල් මහත්මයා කියපු එක ඇත්ත. මම නොදන්න ඥාතීන් මහත්තයට ඉන්නවනේ. ඒ ගොල්ලන්ගෙ සමහර ඥාතීන් එතැන වැඩ කරන්න ඇති සමහරවිට. මම ඒක “ඩිනයි” කරන්නේ නෑ. සමහර තොරතුරු මම දන්නේ නෑ. මං කිව්වේ ඉතින් අවුරුදු පහක් මිනිස්ටර් වෙලා හිටියා එකම එක දවසක්වත් මිනිස්ටි්‍රයට ගිය නැති කෙනෙක්. මං කොහොමද කිසිම දෙයක් දන්නේ.

අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ සමාජයෙන් ඔබට දැනුණු දේ මොකක්ද..?

ගොඩාක් දේශපාලනඥයෝ මෙයාට ආදරේ මිනිස්සු, ඡන්දෙ දුන්න අය හැමෝම කතා කරලා කනගාටු වෙනවා. මට දුක් වෙන්න එපා කියනවා. හඬා වැලපෙනවා. එහෙම ගොඩාක් දේවල් සිද්ධවෙනවා. ඊයෙත් රෑ එක වෙනකම් කට්ටිය හිටියා. එහෙම දේවල්වලට තමයි මේ දවස්වල මුහුණ දෙන්නේ. දරුවෝ අඬනවා. ඒ ගොල්ලන්ව සනසනවා. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් ගෙදර තියෙන්නේ.

අද ඔබ ගියානේ සිල් අරන් හිටපු ඔබේ සැමියාව බලන්න. මොකද කිව්වේ..?

විශේෂ දෙයක් කිව්වේ නෑ. දුවත් එක්ක හුරතල් වුණා. විශේෂ දෙයක් තිබුණත් එයා අපිට කියන්නෙ නැහැනේ. එයාට අපහසුතාවක් තිබුණත් ළමයි ඉස්සරහ කියන්න කැමැති වෙන එකක් නෑ. ළමයි එතකොට දුක් වෙනවනේ. මම හිතන්නේ එයාට එහෙම වුණු එක ලොකු පන්නරයක් කියලා. එයාගෙ කතාවෙන් මට ඒක දැනුණා. දේශපාලනඥයකුටත් මේ පන්නරය තිබිය යුතුමයි කියන හැඟීමේ එයා ඉන්නවා. මගේ මහත්තයට ඒක ගානක්වත් නෑ. එයාට කනගාටු වෙන්න මොකක්වත් වෙලා නෑ. හෘද සාක්ෂියට එකඟව දන්නවා නම් හිරගත කරන්න හේතු කාරණා යෙදිලත් නෑ, කරලත් නෑ කියලා බයවෙන්න, සැලෙන්න, දුක් වෙන්න හේතුවක් නෑ.

මං දන්න තරමින් හො¼දට හිනාවෙලා, කතා කරලා හැමෝමත් එක්ක සුහදව ඉන්නවා ඇති.

ඔබ සැලෙන්නේ නෑ…

නෑ.. මං සැලෙන්නේ නෑ. මේ ජීවිතේ එයත් එක්ක අවුරුදු ගාණක් ජීවත් වුණානේ. ඒ කාල සීමාවේ ඔය කම්පන කීයකට මං අහුවෙලා තියෙනවද..? මේක අලුත් දෙයක් වෙන්නේ නෑ ඉතින්. දැන් ඔය මට වුණත්, මම විමල් වීරවංශ කියන කෙනා බැඳලා නොහිටියා නම් මම ඇත්තටම පාස්පෝට් දෙකක් තියාගෙන හිටියත් මාව ඇතුළට දාන්න හේතුවක් වෙන්නෙ නැහැනේ.

මේ විවාහයත්, මේ චරිතෙත් එක්ක තමයි අපි මේ ඔක්කොම දඬුවම් විඳින්නේ.

මව්බිම පුවත්පතෙන් උපුටා ගැනීමකි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.