Dec 24

පණ අදින මවගේ කුසින් මෙලොව එළිය දුටු දියණිය

අම්මා යන අකුරු තුනේ මහිමය ලෝ වැසි සියලු දනන් දින දින මෙනෙහි කරන, මෙනෙහි කරමින් සුසුම් ලන, උතුම් මාතෘත්වයේ මහිමය ගැන වදන් තෙපලන අවස්ථා ඕනෑ තරම් අපි අසා ඇත්තෙමු.

දැක ඇත්තෙමු. ඒ හැම කෙනෙක්ම කොයියම්ම කාලයක හෝ ඒ උණුහුමින්ම ජීවය ලබා ඇතුවාට සැක නැත. නැතිනම් මවුගේ කිරි සුවඳ දිගේ සිහින් සේයා මැවූ උත්තුංග ගුණ කදම්බය සියැසින් දුටුවෝ වෙති. එහෙත් මවු සෙනෙහේ තරම, ඒ මිහිරි උණුසුම, මුළු ලෝකයම ජීවත් කරවන ඒ ජීව රුධිරය ක්‍ෂීර සාගරයක්ව ගලන හැටි විඳ ගන්න නොහැකිව උපන් කුමරියක වේද? සැබැවින්ම ඒ කුමරියක නම් නොවේ. අහිංසක පුංචිම පුංචි සුරංගනාවියකි. මවුගේ උණුහුමට තුරුලු වී ගුළි ගැසී පැය 18ක් විස්සක් නිදා ගන්න මේ පුංචි සුරංගනාවී කොතරම් හීන දකින්න ඇද්ද මවු කුස ඇතුළේ... එහෙත් ඩෙංගු මාරයා ඒ සිහින සියල්ල බොඳ කරමින් ඒ පුංචි සුරංගනාවිය මෙලොව එළිය දුටු මොහොතේම ආදරණීය මව මරු වසඟයට ගන්නේය.

මේ අනුවේදනීය පුවත අපට සැලවන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලෙනි. පොළොන්නරුවේ අෑත පිටිසර මහවැලි 'සී' කලාපයේ නුවරගල උපන්, හැදුණු, වැඩුණු තරුණියක් සෞඛ්‍ය සේවිකාවක ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී ඩෙංගු මාරයාට බිලිවී ඇතැයිද ඒ ඇය දරුවකු ප්‍රසූත කරන්නට ආසන්නව සිටියදී බැවින් වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීමෙන් පුංචි බිලිඳයට ජීවය දී ඇතැයිද යන ආරංචිය පොළොන්නරුවේ පමණක් නොව මුළු රට පුරාම පැතිර ගියේය. ඒ අනුව අප ඒ පිළිබඳ සොයන්නට යොමු වූ අතර ජයන්තිපුර ප්‍රදේශයේ යැයි මුලින් දැනගන්නට ලැබුණද පසුව නිශ්චිතවම මේ අනුවේදනීය කතාවේ කතා නායිකාවගේ මහ ගෙදර වන මහවැලි 'සී' කලාපයේ නුවරගල ගමේ අංක 297 නිවෙසට යෑමට හැකි විය. මියගිය සෞඛ්‍ය සේවිකාවගේ සැමියා වන ජේ. එම්. රවින්ද්‍ර ප්‍රදීප් (33) මෙන්ම මියගිය කතා නායිකාව වන එච්. එම්. දීපිකා කුමාරි හේරත් (29) ගේ මව ටී. ජී. කුසුමාවතී (54) හා පියා එච්. එම්. අබේරත්න (56) ඇතුළු පවුලේ සියලුදෙනාම තෝන්තුවාවෙන් මෙන් අප හා කතාවට එකතු වූහ.

'කළුබෝවිල රෝහලටම මගේ දරුවා ජීවිතේ දුන්නා. මගේ දරුවා තුන් වතාවක් ඩෙංගු හදා ගත්තා. ඒත් මම කිව්වා මෙහාට එන්න එහෙ ඉන්න බෑ නේද කියලා. මගේ දූ මට කීවේ අම්මා බය වෙන්න එපා මෙහෙ ගොඩක් අය ඉන්නවානේ. එහෙම නම් ඒ අයත් කොළඹ අතඇරලා ඩෙංගුවලට බයේ යන්න එපැයි කියලා. බය වෙන්න එපා අම්මා මම මිනිබිරියත් අරගෙන ළඟදීම එන්නම් කීවා.'

දීපිකාගේ මව තෝන්තුවාවෙන්ම හැඬූ­ කඳුළින් වචන ඇහින්දාය. අපේ මතකයේ හැටියට මාරාන්තික ඩෙංගු රෝගයට මේ වසරේ බිලි වූ දෙවැනි සෞඛ්‍ය නිලධාරිනිය ඇයයි.

මේ දිනවල රටේ ප්‍රධාන ධාරාවේ වසංගතයක් බවට පත්ව ඇති කාරණය නම් ඩෙංගු උවදුරයි. 2016 වසරේ මේ වන විට එම රෝගයට ගොදුරු වූවන් ගණන 48,000ද ඉක්මවයි. ඉන් මරණ 77ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඩෙංගු මාරාන්තික බව දැන් රටේ ලොකු කුඩා කවුරුත් හොඳින් දන්නා කාරණයක් වුවත් මේ රටේ මිනිසුන්ගේ ස්වයං පාලනය, හික්මීම හා මැදිහත් වීම ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා රජයට ජනාධිපති කාර්ය සාධන බළකායක් පවා පත් කිරීමට සිදුවී ඇති අතර ඩෙංගු මදුරුවන් බෝ වීමට අනුබල දෙන ස්ථාන පිළිබඳව පැය විසි හතරේම දැනුම් දීමට විශේෂිත ඒකක තුනක් කොළඹ කේන්ද්‍ර කරගෙන පිහිටුවීමටද පියවර ගෙන තිබේ.

වලපනේ, මානෙල්වල සුන්දර ගම් පියස අතහැර සල්පිටිගමටත්, එතැනින් මහවැලි 'සී' කලාපයේ යක්කුරේ ඉපැරැණි ගම්මානයට නුදුරින් පිහිටි නුවරගලට ගොඩින් අක්කර භාගයකුත්, මඩින් අක්කර දෙකහමාරකුත් ලැබීම නිසා පැමිණෙන එච්. එම්. අබේරත්නට කුසුමාවතී මුණු ගැසෙන්නේ මෙම ප්‍රදේශයේදීමය. දැන හඳුනාගෙන නිවෙස්වලින් එකඟ වී දෙමාල්ලන්ගේ මවුපිය පාර්ශ්වවල ආශීර්වාද මැද යුග දිවිය අරඹා වසර දෙකක් ගතවූ තැන පුංචි කුමාරිකාවක් නිවෙසට ආවේ කවුරුත් කියන පරිදි දූලා ගෙදරට වාසනාවන් කියන ආශීර්වාදාත්මක කතාවත් එක්කය. මේ ආශීර්වාදය නිසාම ඒ දියණියට 'කුමාරි' යැයි කීවේ කවුරුන් හෝ ඇය කුමාරිකාවක සේ යැයි බිණූ හෙයිනි. ඇයගේ සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ දීපිකා කුමාරි හේරත් විය. කවුරුත් ආදරේට කුමාරි කීය. කුඹුරෙන් ලැබෙන ආදායමෙන් පුළු පුළුවන් විදියට දුව ලොකු මහත් කර ගමේ පාසල නුවරගල මහා විද්‍යාලයට අධ්‍යාපනය සඳහා ඇයව භාර දෙන අතර ඇයගේ තනියට මල්ලි කෙනකුද මේ පවුලට එකතු වන්නේය. අ.පො.ස. (උ.පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු හොඳින් කළ කුමාරි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන නොසිතුවේ වයස්ගත වෙමින් සිටින මවත්, පියාත් දවසින් දවස කේඩෑරී වී ගෙන එන පරඬැලක් සේ දිරාපත් වෙමින් ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් සිටින බව ඉවෙන් මෙන් දැනිලාය. ඒ නිසාම ඇය 2012දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවස්ථාවකට මුහුණ දී ඉන් තේරී පත්ව කළුබෝවිල ශික්ෂණ රෝහලට 2012 ජනවාරි 4දා ගොස් වැඩ භාර ගන්නීය. එහෙත් එම මාසයේම 22දා ඇය ඩෙංගු රෝගය වැලැඳී ප්‍රතිකාර ලබා විවේක ගැනීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයා නිවාඩු ලබා දී නිවෙසට එවා තිබිණි.

'එයා නැවැතිලා හිටියේ කළුබෝවිලමයි. 2013දී එයා වැඩ කරන අංශයටම පොළොන්නරුවේ ජයන්තිපුර කෙනෙක් ඇවිත් ඉන්නවා. එයා ගොඩක් හොඳයි. එයාලගේ ගෙදරිනුත් කැමැතියි. අපි මොකද කියන්නෙ කියලා අපෙන් ඇහුවා. ඒ පුතා ගෙදරට ආවා. ඊට පස්සේ ගතිගුණ හොඳ කෙනෙක්, මගේ දුව මුළු ජීවිත කාලෙම හොඳින් බලාගනීය කියලා හිතුණා. අපි කැමැති වුණා. 2013දීම විවාහ වුණා. එයාල ඊට පස්සේ පදිංචියට ගියේ කළුබෝවිල පන්සල පාරේ අංක 53/ඒ, කියන බෝඩිමට. එතැන ඇත්තොත් ගොඩක් කරුණාවයි. අපේ දරුවන්ට එයාලගේ දරුවෝ වගේ සැලකුවේ.'

කුමාරිගේ පියා වන අබේරත්න ගොවි මහතා කියන්නේය.
'ගිය සිංහල අවුරුද්දට ගෙදර ආවෙ නෑ. මට දුරකතනයෙන් කතා කරලා කිව්වා අම්මා ලොකු සතුටක් හිතෙන කතාවක් කියන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකද්ද කියලා. එතකොට තමයි මට කීවේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මම ගොඩක් සතුටු වුණා. මම දැන් ලෙඩ ගානේ. බෙහෙත් බොනවා කොච්චරවත්. ඇස් පියාගන්න කලින් මුනුපුරෙක්, මිනිපිරියක් දකින්න ආසාවෙන් හිටියේ. මම ඊට පස්සේ එයාට පරිස්සම් වෙන හැටි කියල දුන්නා. මාස තුන ගියාම එන්න කියලා කිව්වා.'

කුමාරිගේ මව කියන්නීය. එහෙත් කුමාරි නැවැත මාරාන්තික ඩෙංගු රෝගයට ගොදුරු වන්නීය. ඒ 2016 මැයි මාසයේදීය.
මහියංගණ සිළුමිණි සෑ රදුන් ආරක්ෂා කරමින් වැඩ වසන සමන් දෙවි හාමුදුරුවන්ටත් පත්තිනි ගම්භාර මෑණියන්ටත් බාරයක් වූ කුමාරිගේ මව සිය දියණියත් මිනිපිරියත් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන් යැද්දාය. එවරද මරු පරදා කුමාරි ජය ලැබුවාය. දෙවි හාමුදුරුවන් වෙනුවෙන් තැබූ බාරය ඔප්පු දීමට කුමාරිත්, සැමියාත් ඉකුත් ජුනි මාසයේ පැමිණියහ. මවුපියන්ගේ ආශීර්වාදය මේ දෙපළගේ සතුට නිම් හිම් නැතිව දෝරේ ගලන මට්ටමටම ගෙන ආවේය. එහෙත්, කිසිවෙක් නොසිතන මොහොතක, මදුරු දැල් දමාගෙන, විදුලි පංකා භාවිත කරමින් කොතෙක් ආරක්ෂාකාරීව සිටියත් ඩෙංගු මාරයා මේ සතුටින් සිටින පුංචි කැදැල්ල හැර නොගියේය. ඉකුත් 11දා කුමාරිගේ සැමියාට ඩෙංගු උණ වැලැඳී ඔවුන් සේවය කරන කළුබෝවිල ශික්ෂණ රෝහලටම ඇතුළු වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන්නේය. මේ අතර කාලය තුළ කුමාරි සිය සැමියා බැලීමට රෝහලේ සේවය කරන ගමන් නිතර ගියත් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල ඇයගේ සිත සැනසූහ.

බඩදරු අම්මා කෙනෙක් සතුටින් ඉන්නට ඕනෑ යැයි කියමින් විහිළු තහළු කළහ. එහෙත් මාරයා ‍ෙදාරකඩටම පැමිණ ඇති බැව් කුමාරි නොදුටුවාය. ඉකුත් 13දා ඇයද කළුබෝවිල මහ රෝහලට ඇතුළත් වන්නේ ඩෙංගු වැලඳීමෙනි.
'මට මගේ දූ කතා කරලා කීවා අම්මේ මට සනීප නෑ එන්න පුළුවන්ද මම රෝහලේ නැවතුණා. එයත් උණ හැදිලා අයි.සී.යූ. ඉන්නේ කීවා එදා 13දා රෑ 12ට විතර කතා කරලා. ඒත් ඒ රෑ මට එච්චර දුරක් යන්න බැරි නිසා මම මොකද්ද අමාරුව මම උදෙන්ම එන්නම් කියලා කිව්වා. එයා කීවේ අම්මා දන්නවානේ මෙහෙ තියෙන ලෙඩේ මොකද්ද කියලා කිව්වා.' කුමාරිගේ මව කියන්නීය.

සැමියාත්, බිරියත් දෙදෙනාම ඩෙංගු උණ වැලඳී කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වෛද්‍යවරුන්ට ගැබිනි මවගේ තත්ත්වය ගැන සැක සංකා ඇති වන්නට විය. සැමියාත් දැඩි සත්කාර ඒකකයේ. බිරියත් දැඩි සත්කාර ඒකකයේ. ළඟ සිටින්නට කවුරුත් නැත. තමන්ගේ කියා කවුරුත් ඇත්තේද නැත. මෙවන් මොහොතක රෝගියකුට දැනෙන අසරණකම දැනෙන්නට ඉඩ නොතබා තම කාර්ය මණ්ඩල සගයන් දෙදෙනකු මවක්, පියෙක්, සහෝදරයෙක්,

සහෝදරියක්, දුවෙක්, පුතෙක්, යහළුවෙක්, යෙහෙළියක් බලා ගන්නා විලසින්ම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සියලු කාර්ය මණ්ඩල එක්ව බලා ගත්හ. අවශ්‍ය හැම බෙහෙතක්, හේතක්ම දුන්නේය. එහෙත් කුමාරිගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වූ හෙයින් තාමත් මෙලොව එළිය දකින්නට ඇඟිලි ගනිමින් කුස තුළ කෙළි සෙල්ලම් කරමින් හුරතලයට හැදෙන සිඟිත්තියගේ ජීවිතය බේරා ගැනීමට අවසන ඔවුහු තීන්දු කළහ. සිඟිති පුංචි සුරංගනාවී මේ ලෝකයට බිහි වුණත් මවගේ උණුහුම ලබමින් කිරි උරා බීමට වාසනාව නොලැබුවාය. සිසේරියන් සැත්කමක් මඟින් බිලිඳිය එළියට ගත් වෛද්‍යවරුන් සිඟිත්තිය වහාම නොමේරූ ළදරු ඒකකයට යැවූහ. මවගේ උණුසුම වෙනුවට ළා නිල් පැහැ ආලෝක කදම්බයක් සමඟ කවුරුන් හෝ පොවන කිරි කඳුළක් සමඟ ඇය නින්දට වැටෙන්නට ඇත. අත්තම්මා ළඟ සිටින බව නම් ඒ උණුසුමින් දැනෙන්නට ඇත. දැඩිසත්කාර ඒකකයේ සිට ඉකුත් 15දා මේ සිඟිත්තියගේ පියා රෝද පුටුවෙන් පැමිණ බලා සතුටු වුණේය. එහෙත් අනෙක් පැත්තේ දැඩි සත්කාර ඒකකයේ බටවලින් හුස්ම ගන්නා සිය බිරිය දකින ඔහුගේ කඳ, බඩ හෝස් ගා පත්තු වුණා වගේ දැනෙන්නට ඇත. ඉකුත් 17දා අලුයම සීතලේම ඇය මේ පුංචි සුරංගනාවී සෙනෙහෙබර සැමියාටත්, ආත්තම්මාට හා කිරි අත්තාටත් භාර කර මෙලොව හැර ගියාය.

ඇය යන්න ගියේ අහිංසක පුංචිම පුංචි කිරි සප්පයෙක් තනිකර දමාය. මරණයේ වේදනාව විඳිමින් මාරයා සමඟ දැඩි සටනක යෙදී සිටි ඇයගේ තන පුඩු අගින් වෑහුණු ක්‍ෂීර ගංගාව ඇයගේම මසින්, ලෙයින් උපන් පුංචි බිලිඳියට පොවා යන්නට නොහැකි වූයේ කාගේ වරදින්ද? පොළොන්නරුවේ අෑත දුෂ්කර ගම්මානයක සිට දහස් ගණනක් රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සැපැයීම සඳහා කොළඹ පැමිණි ඇය අකාලයේ ජීවිතය හැර යන්නේ ඩෙංගු මදුරුවන් බෝ වීමට, ඩෙංගු තවාන් දැමූ නරුම මිනිසුන් නිසා නොවේද? එය අපි අපෙන්ම ඔබ ඔබෙන්ම ඇසිය යුතු පැනයකි. ඇගේ සහෝදර කාර්ය මණ්ඩලයේ සෝසුසුම් එක් කරමින් එල්ලා තිබූ බැනරයක මෙසේ සටහන් වී තිබිණි.

'නෙලුම් මලක් වගේ සුවඳ අහිංසකාවී
සිනා පොදක් සුළඟෙ තියා කොහේද සැඟවී
මතකය හද පාරනවා කඳුළින් තෙත්වී
නිවනින් මතු සැනහේවා සුරංගනාවී'

-මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.