Nov 11

සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක්

කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් කතාබහට අපි සම්බන්ධ කර ගත්තෙමු. මීට මාස කිහිපයකට පෙර රංගන ක්ෂේත්‍රයේම ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ දිවියට එක්වූ ඇය සිය අලුත් ජීවිතය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අප සමග පැවසුවාය.

කොහොමද අලුත් ජීවිතේ?

ගොඩක් හොඳයි. හැබැයි විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා කියලා නම් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. පෙර පරිදිම මගේ සුපුරුදු ජීවිතේ නිදහසේ ගෙවනවා. මොකද, හර්ෂණ කියන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. විවාහ වුණාහම බොහෝ වෙලාවට වෙන්නේ ගෙදරට සීමා වෙන එක. නමුත්, මට එහෙම සීමා නැහැ. මගේ අම්මලා, තාත්තලා වගේම හර්ෂණත් මම රඟපානවට ගොඩක් කැමතියි.

මේ දවස්වල කලා කටයුතුවලට දායක වෙන්නේ නැද්ද?

රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ අලුත් ටෙලියක වැඩ කරනවා. ඊට අමතරව ප්‍රවීණ රංගනවේදි සනත් ගුණතිල මහත්මයාගේ ටෙලි නාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම නිල්වලා ආයතනයෙන් කරන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ කලා කටයුතු නිසා ඉදිරි කාලයේදී මම තරමක් කාර්ය බහුලවෙලා ඉන්නවා. මේ දිනවල මාව ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන ජෝඩු ගෙදර ටෙලි නාට්‍යය තුළින් දකින්න ලැබෙනවා.

 ඔබ "සිල්ලර කාසි" ටෙලි නාට්‍යයේ කළ චරිතය හරහා පසුගිය කාලේ කතාබහට ලක්වුණා නේද?

ඔව්, ජනක සුරංජිත් මහත්මයාගේ "සිල්ලර කාසි" ටෙලි නාට්‍යය කොටස් 60කින් සමන්විත ටෙලි නාට්‍යයක්. ඇත්තටම එය පවුලේ සැමට ආදර්ශවත් ටෙලි නාට්‍යයක්. මොකද, අද සමාජයේ කතාබහට ලක්වන මාතෘකා කිහිපයක් ඔස්සේ තමයි මෙම ටෙලි නාට්‍යයේ කතා තේමාව දිගහැරිලා තිබුණේ. මම එහි රඟපෑවේ "උමායා" කියන චරිතය. ටෙලි නාට්‍යය දැන් විකාශය වෙලා අවසන් වුණත්, තවමත් මට එම චරිතයට ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ.

 වොල්ගා දැන් රංගනයට පිවිසිලා කොපමණ කල්ද?

අවුරුදු 3 ½ක් විතර වෙනවා. මේ කාලය තුළ මම රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා.

 මේ කාලය ගැන ආපසු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටුයි. මේ කෙටි කාලය තුළ මම රංගනය පැත්තෙන් යම් දුරක් ඇවිල්ලා තියෙනවා. දැනට ටෙලි නාට්‍යය 15කට ආසන්න ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ඊට අමතරව එක් චිත්‍රපටයකටත් මම දායක වෙලා තියෙනවා. "කොළඹ අහස" ටෙලි නාට්‍යයේ "චතුරි" කියන චරිතයට මට "සුමති" සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් පවා හිමිවුණා. ඊට අමතරව සම්මාන කිහිපයක් සඳහාත් මට නිර්දේශ වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් නිළියක් විදිහට මේ වෘත්තිය ගැන මම ගොඩක් සතුටු වෙනවා මේ කෙටි කාලය තුළ.

 පසුගිය කාලයේ ඔබ චිත්‍රපටයකටත් දායක වුණා?

ඔව්, අර්ජුන් කමලනාත් මහත්මයාගේ "කුණාටුවේ මාරයා" කියන චිත්‍රපටයට. දැනට මෙහි වැඩ කටයුතු සියල්ල නිමාවෙලා තියෙනවා. බොහෝ විට මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා.

 ටෙලි නාට්‍යය හා චිත්‍රපට කියන්නේ එකිනෙකට වෙනස් එකක්. කොහොමද ඔබට මෙහි ලැබුණ සිනමා ඇත්දැකීම?

ටෙලි නාට්‍යයක් නම් බොහෝ වෙලාවට එක් දිනක් තුළදී දර්ශන කිහිපයක් ගන්නවා. නමුත්, චිත්‍රපටයක දිනක් තුළ රූපගත කරන්නේ එක් දර්ශනයක් විතරයි. එහෙම ගත්තාම ටෙලි නාට්‍යයකට වඩා චිත්‍රපටයක රඟපාන එක ලොකු බැරෑරුම් කටයුත්තක්. මම ගොඩක් කැමැති සිනමාවට. කොටින්ම කිව්වොත් පුංචි කාලේ මගේ තිබුණ ලොකුම හීනයත් ඒක.

 චිත්‍රපටයෙන් පස්සේ ඔබට වෙනත් ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා, මම කැමති චරිතයක් තියෙන චිත්‍රපටයක්. නමුත්, තවමත් එය ස්ථිර වශයෙන්ම සඳහන් කරන්න බැහැ. බොහෝ විට දෙසැම්බර් මාසයෙදි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු ලැබෙනවා. බලමු, ඒ චිත්‍රපටයේ වැඩ ආරම්භ කළාම ඒ ගැන විස්තර කියන්නම්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.